අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා මත අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසේන් අහමඩ් බහිලා මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව සැකකරු රුපියල් 50,000/- ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.

ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු වෙත තවත් කොන්දේසියක් පනවනු ලැබුවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2023 වසරේ සැප්තැම්බර් මස 15 වනදා සිවිල් පුරවැසි සංවිධානය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර කළ බව සඳහන් කළා.

2015 වසරේ එවක අග්‍රාමාත්‍ය ජේෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ මහතා ලබාදුන් උපදෙස් මත වී ගබඩා කිරීම සඳහා භාවිතා කරන කොකුන් නැමැති උපකරණ 50 ක් රේන්බෝ පිලිපින් නමැති සමාගමකින් කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව මිලදී ගැනීමට මොහු කටයුතු කර ඇති බවත් ඒ සඳහා එක් උපකරණයක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 11,280 ක් වැයකර ඇති බවත් ඇය සඳහන් කළා.

ඒ ආකාරයෙන් උපකරණ පනහක් මිලදී ගැනීම සඳහා මෙරට රජයට අයත් ඇමරිකානු ඩොලර් 564,000 ක මුදලක් නිකරුණේ වැය කර ඇතැයි සඳහන් කළ සහකාර අධ්‍යක්ෂවරිය මෙසේ ආනයනය කළ උපකරණ පහළොවක් වී අලෙවි මණ්ඩලයට බලහත්කාරයෙන් ලබා දී තිබෙන බවත් සඳහන් කළා.

කිසිදු අවශ්‍යතාවයක් නොමැති මෙම උපකරණ මිලදී ගැනීම තුළින් මෙම සැකකරු රාජ්‍ය මුදල් අවභාවිතා කර දූෂණය නැමැති වරද සිදුකර ඇති බවත් ඒ අනුව මෙම සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් විමර්ශන කටයුතු වලට බාධා සිදුවිය හැකි නිසා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම උපකරණ මිලදී ගැනීම් සිදු කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණු උපදෙස් මත මිස මෙම සැකකරුගේ තනි කැමැත්තට නොවන බව ප්‍රකාශ කළා.

මෙම ක්‍රියාව තුළින් සැකකරු කිසිදු ආකාරයකින් ආර්ථිකය ලාභයක් ලබා නොමැති බවත් ඔවුන් පැවසුවා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් සාධාරණ කරුණු ඉදිරිපත් වී නොමැති බවයි.

ඒ අනුව සැකකරු ඇපමත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ජනවාරි මස 24 වනදා කැඳවන ලෙස නියම කළා.