පෙට්‍රල් මිල අඩු කළ මිළ ගණන් සම්බන්ධයෙන් ජනතාව විවිධ අදහස් පළ කරනවා.

අඩු කළ එම මිල ගණන් ප්‍රමාණවත් නොමැති බවට ඇතමුන් ප්‍රකාශ කළද තවත් පිරිස් කියාසිටියේ මෙලෙස පෙට්‍රල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් වන බවයි.

පෙට්‍රල් මිල අඩු කිරීම හේතුවෙන් ත්‍රීරෝද කුලී ගාස්තු අඩු කරනවා දැයි නෙත් නිවුස් ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයෙන් විමසීමක් කළා. මේ, ඊට ප්‍රතිචාර දැක්වූ එම සංගමයේ ලේකම් එල් රෝහණ පෙරේරා මහතා.

"පැහැදිලිව ප්‍රධාන වශයෙන් කියන්නට තියෙන්නේ මේ ත්‍රිරෝද රථ ගාස්තුව මේ වෙනකොට සංගම් විසින් කිසිම ආකාරයකින් වෙනසකට පත් කරන්නට හැකියාවක් නැහැ. ඒ සම්බන්ධයෙන් සියලුම කටයුතු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් තමයි තීරණය කරන්නට පත්වෙලා තියෙන්නේ මේ නීතිය යටතේ. දැන් මෙහෙමනේ, දැන් ලොකු ගානක් වුණාට දැන් පහුගිය කාලේ වැඩි කරපු ගණන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ. රුපියල් 36ක වැඩි වීමක් තියෙනවා. වැඩිවීම පිළිබඳව තාමත් හරි මට්ටමට ඇවිල්ලා නැහැ. ඉතින් දැන් ඒ එහෙම එහෙම කතා කරොත් ඉතින් එහෙම තාම අපි මේක පාඩුවට තමයි දුවන්නේ. එතකොට රුපියල් 15ක් අඩු වුණයි කියන්නේ, පහුගිය මාසවල් වලදී ඉන්ධන මිල සංශෝධනයේදී රුපියල් 36ක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ රුපියල් 36න් රුපියල් 15ක් අඩු කරාම තවත් අපි මේ මේකෙන් මේ පාඩුවට තමයි දුවන්න වෙලා තියෙන්නේ. නමුත් අපිට බලාපොරොත්තු වෙලා ඉන්නවා ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් මේක ඉක්මනටම අපිට හදලා දෙයි කියලා. එතකොට කිසිම ආකාරයක මගීන්ට ප්‍රශ්නයකුත් නැහැ, අපිට ප්‍රශ්නයකුත් නැහැ. මොකද නීත්‍යානුකූල මිලක් තුළ අනිවාර්යෙන්ම ඒ මිල තමයි අයක කරන්නට වෙන්නේ රියදුරාට. ඒ නිසා මේ වෙලාවේදී අපිට රුපියල් 15ක් අඩු වුණයි කියලා මේ ගණන් අඩු කරන්න හැකියාවක් නැහැ."

පෙට්‍රල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් වතුකරයේ ජනතාව මෙන්ම ත්‍රීරෝද රථ කර්මාන්තයේ යෙදෙන පිරිසක් ද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

"පෙට්‍රල් මිල අඩු වෙලා තියෙනවා, හැබැයි පිටි මිළ වැඩි වෙලා තියෙනවා. කිරි පිටි මිළ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒවත් අඩු කරන්න එපැයි දැන් එතකොට නෙ අපි හරි යන්නේ. තවත් මොන මොනවා වැඩි වෙයිද දන්නේ නැහැ. පුළුවන් තරම් අඩු කරනවා නම් තමයි ඉතින් හොඳ. පෙට්‍රල් විතරයිනේ අඩු කරලා තියෙන්නේ, ඩීසල් අඩු කරලා නැහැනේ. ඒවත් අඩු කරන්න ඕනේ. හැම දෙයක්ම අඩු කරලා තමයි ඉතින් දුප්පත් ජනතාවට හොඳ.''

''මේක නිකන් බොරු වැඩක් මේක කරන්නේ, හරිද? අපි ඇවිල්ලා ඕන නම් රජයට ආදරෙයි, හරිද? මේ රටටත් ආදරෙයි. නමුත් මිනිස්සුව අපි වෙනස් කරගන්න ඕනේ, අපි වැඩක් කරලා තමයි වෙනස් කරගන්නේ. දැන් මිනිස්සු වෙනස් වෙලානේ ඉන්නේ. මිනිස්සු තේරුම් අරන් ඉන්නේ, මිනිස්සුව දැන් රවට්ටන්න බැහැ, හරිද? මේ රුපියල් 1,000කින් පිටි එක වැඩි කරලා, රුපියල් 15කින් පෙට්‍රල් එක අඩු කරපුවාම මොකද වෙන්නේ? මේ මාසෙන් මාසෙට පෙට්‍රල් චේන්ජ් එකක් වෙනවානේ. ඉස්සර වැඩි කරනවා, 15ක් අඩු කරනවා. ඒකෙන් මොකක්ද වෙන්නේ? සහනයක් නෙවෙයිනේ. සහනයක් දෙනවා නම් හරියට දෙන්න ඕනේ, බැරි නම් අතහැරලා දාන්න ඕනේ. වැඩි කරනවා නම් වැඩි කරලම දාන්න. ඒක වෙනම දෙයක්. හැබැයි මිනිස්සුව නිකන් රවට්ටන වැඩක් මේක, හරිද?

ඔයාලා අයකිරීම් අඩු කරනවද?

''අඩු කරන්නේ කොහොමද අනේ තෙල් මිළ, මාසෙන් මාසෙට අර විදියට 15, 20 අඩු කරලා කොහොමද අනේ අයර කොහොමද අනේ අඩු කරන්නේ? ආ? අයරක අඩු කරලා ඒක වැඩක් කරන්න පුළුවන්ද? පුළුවන් නම් මේකට අපිට සහනයක් දෙන්න පෙට්‍රල් එකටයි, මේ මේ සාමාන්‍යයෙන් සිල්ලර බඩුවලට පොඩි සහනයක් දෙන්න කියලා කියන්නේ අපි.''

ඇත්තටම මේ අඩු කරපු එක හොඳයි. අපිට මේ හයර් ටිකක් හරි හම්බවෙන්නේ, මේ දවස්වල හයර් නැහැනේ. ඒ නිසා මේ සාමාන්‍යයෙන් අඩු කරලා දුවන්නත් පුළුවන්.

දැන් ඔයාලා අයර් එක අඩු කරනවද?

අඩු කරනවා කියන්නේ දැන් මෙහෙමයි. දුර හයර් නම් අඩු කරලා දුවන්න පුළුවන්, ළඟ අඩු කරගන්න අඩු කරලා දුවන්න අමාරුයි හැබැයි. දැන් තියෙන සිචුවේෂන් එකට. දැන් පෙට්‍රල් විතරක්නේ අඩු කරල තියෙන්නේ."

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි ඕ සී සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල ගණන් පමණක් අඩු කළා.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කළ අතර එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 475 ක්. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල අඩුකර කෙරුණේ රුපියල් 15කින්.

එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 399ක් වනවා.