ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී පසුගියදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු, කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය මගින්. එම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදීයි.

අදාළ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනාව මත තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරිය කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

එම අවස්ථාවේදී ඔවුන් සතුව තිබී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක්, ජීව පතරොම් 12ක් සහ හිස් පතරොම් කොපු 6ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ 14, කොළඹ 12 සහ දළුපොත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. සැකකාරිය කුරණ ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.