දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පද්ධතියේ ඍජු බලපෑම ශ්‍රී ලංකාවට නොමැති වුවද දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ.
"මෙම පද්ධතියේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවත්, මෙම පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා. මේ අනුව අද දිනයේ දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන අතර ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම උතුරු මැද පළාතෙත් මන්නාරම දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙන්න පුළුවන්. සුළං තත්ත්වය සැලකීමේදී මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් දක්වා වේගයෙන් හමන තද සුළං ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න කියලත් අපි ජනතාවට මතක් කර සිටිනවා."
ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ එල් එස් සූරිය බණ්ඩාර මහතා මෙලෙස කරුණු දැක්වූවා.
"අද දවසේ වර්ෂාපතනය පිළිබඳව සැලකුවොත්, පහුගිය පැය 24 තුල වර්ෂාපතනයේ කිසියම් අඩුවීමක් දක්නට තියෙනවා. සාමාන්‍ය නිරිතදිග කලාපය ආවරණය වන කලු, මහවැලි, ඒ වගේම බස්නාහිර පළාත, වයඹ පළාත, සබරගමුව, ඒ වගේම බදුල්ල, මන්නාරම, පදවිය සහ මහනුවර දිස්ත්‍රික්කය සහ නුවරඑළිය දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය - මේ ප්‍රදේශ බොහෝමයකටම වර්ෂාව ලැබිලා තියෙනවා. ඒ වගේම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් සාමාන්‍ය වර්ෂාපතනයක් පවතිනවා. මේ තත්ත්වය යටතේ ගංගාවල ජල මට්ටම් සැලකුවොත්, ප්‍රධාන වශයෙන්ම නිල්වලා ගඟේ පහළ ප්‍රදේශ, විශේෂයෙන්ම තල්ගහගොඩ ඇතුළු ඒ ප්‍රදේශවල ජල මට්ටම තවමත් සුළු ගංවතුර තත්ත්වයකට ආසන්නව පවතිනවා. තවදුරටත් එතරම් වැඩිවීමක් පෙන්නුම් කළේ නැතත්, ඉතාම සෙමින් තමයි එම ප්‍රදේශවල ජල මට්ටම් පහළ බහින්නේ. ඒ වගේම ගිං ගඟ බද්දේගම ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයකට ආසන්න සුළු ගංවතුර තත්ත්වයක පවතිනවා. අනෙකුත් ප්‍රදේශවල ජල මට්ටම් පහළ බැහැලා තියෙන්නේ. ඒ වගේම කළු ගඟේ මිල්ලකන්ද සහ මාගුරු ස්ථානවල කුඩා ගඟ සුළු ගංවතුර තත්ත්වයක් සහ පාත්බිම් යටවෙලා පවතිනවා. කෙසේ නමුත් පුටුපාවුල ඇතුළු ප්‍රදේශවල ජල මට්ටම් තවමත් සෙමින් වැඩිවෙනවා. එතරම් ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. කළු ගඟේ විශේෂයෙන්ම වර්ෂාපතනය, ඉහළ ප්‍රදේශයේ වර්ෂාපතනය රත්නපුර සහ ඒ ආසන්නව මිලිමීටර් 50 කට ආසන්න වැඩිම වර්ෂාපතනයක් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් එය විශාල ජල මට්ටම් වැඩිවීමක් තරම් ප්‍රමාණවත් වර්ෂාපතනයක් නෙවෙයි. ඒ වගේම කැලණි ගඟ ඉහළ ප්‍රදේශයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ත් 60 ත් අතර වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. අනෙකුත් ප්‍රදේශ මිලිමීටර් 40 හෝ 25 ත් 40 ත් අතර වර්ෂාපතනයන් ස්ථාන කීපයක දක්නට තියෙනවා. අනෙකුත් බොහෝ ප්‍රදේශ මිලිමීටර් 25 ට අඩු වර්ෂාපතනයන්. මේ තත්ත්වය යටතේ කැලණි ගඟේ ජල මට්ටම් ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. සහ හංවැල්ල ඇතුළු ප්‍රදේශවල ජල මට්ටම් මේ වන විට අඩු මට්ටමක, අඩුවෙමින් පවතිනවා. ඒ වගේම මහවැලි ගඟේ නාවලපිටිය සහ පේරාදෙණිය ජල මට්ටම් සෙමින් අඩුවෙමින් පවතිනවා. සහ කිසියම් ඉහළ අගයන්වල තමයි මේ ජල මට්ටම් පවතින්නේ. ඒ වගේම මහවැලි ආශ්‍රිතවත් ඉහළ ප්‍රදේශයේ මිලිමීටර් 50 කට ආසන්න වර්ෂාපතනයන් ලැබිලා තියෙනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ. කෙසේ නමුත් මෙම ගංගා පද්ධතියේ විශාල වැඩිවීම් පෙන්නුම් කරන්නේ නැහැ. තවදුරටත් වර්ෂාපතනයේ තියෙන අඩුවීමත් සමග ඉහළ ප්‍රදේශවල බොහෝ ස්ථානවල ජල මට්ටම් අඩුවෙමින් පවතිනවා. කෙසේ නමුත් පහළ ප්‍රදේශ මුහුද ආශ්‍රිතව ආසන්නයේ පිහිටි පහත් බිම්වල තවදුරටත් ජලය ඇතුළු වීමෙන් සහ පහත්බිම් යටවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අද දිනයේත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දීලා තියෙන පුරෝකථනයන් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම, මේ තත්ත්වය යටතේ ගංගාවල ජල මට්ටම් ඉහළ අගයක පැවතීමත්, ඒ වගේම වර්ෂාපතනය ලැබීමේ පුරෝකථනයන් නිසා තවදුරටත් මේ පිළිබඳව ජනතාව ඉතාමත් අවධානයෙන් සිටීම වැදගත්. විශේෂයෙන්ම නිරිතදිග කලාපය ආශ්‍රිතව තියෙන ගංගා ධ්රෝණිවලට, ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් ක්ෂණිකව ලැබෙන අධි තීව්රතාවයෙන් යුතු කෙටි කාලයක් ඇතුළත ලැබෙන වර්ෂාපතනයත් සමග ප්රාදේශීයව ඇතැම් පහත් බිම් යටවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙනුත් මාර්ග භාවිතා කරන අය සහ ඇතැම් පහත් බිම් ආසන්නයේ ඉන්න ජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.''




