දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අද අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මියගොස්, ඔවුන්ගේ පියා තුවාල ලැබීමේ සිද්ධිය සංවිධානාත්මක මත්ද්‍රව්‍ය කල්ලි අතර පවතින දරුණු වෛරයක ප්‍රතිඵලයක් බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.
ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 11 ක් වන දුමින්ද ගිහාන් සහ 17 හැවිරිදි කසුන් රශ්මික යන දරුවන් දෙදෙනා වන අතර, 55 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු වන ඔවුන්ගේ පියා කළුබෝවිල ශික්ෂණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, අද අලුයම 3.10 ට පමණ රතු පැහැති ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු නිවස දෙසට අත්බෝම්බය දමා පලායන අයුරු අසල සී.සී.ටී.වී කැමරාවල සටහන්ව ඇති බවයි.
එමෙන්ම පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල වූ නිවසට යාබද නිවසේ පදිංචි, ප්‍රහාරයෙන් තුවාල ලැබූ තැනැත්තාගේ වැඩිමහල් පුත්‍රයා, සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බඩෝවිට අසංක‘ නැමැත්තාගේ ජාලයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවයි.
මෙම දිනවල කොහුවල, ගල්කිස්ස සහ දෙහිවල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ‘බඩෝවිට අසංක‘ පාර්ශ්වය, ‘අවිශ්ක‘ පාර්ශ්වය සහ ‘කොස් මල්ලි‘ යන මත්ද්‍රව්‍ය පාර්ශ්වයන් අතර නිරන්තරයෙන් සිදුවන වෙඩි තබා ගැනීම් සහ අත්බෝම්බ ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
දෙහිවල අදාළ නිවසේ අත්බෝම්බ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ද මාස 04 කට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වූ අයෙක් බවද අනාවරණ වී තිබෙනවා.
ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය ස්ථානීය පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කළා. ඒ අනුව දෙහිවල සහ ගල්කිස්ස පොලිස් කණ්ඩායම් දෙකක් මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




