ශ්‍රී ලාංකික ක්‍රීඩක දසුන් ශානකගේ වේගවත් ඉනිමත්, ජොෆ්රා ආචර්ගේ විශිෂ්ට තුන් ඉරියව් දස්කම්ත් හේතුවෙන් IPL තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 30කින් පරාජය කරමිනුයි රාජස්ථාන් කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළේ.
පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 205ක් රැස් කළා.
එහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩක දසුන් ශානක පන්දු 15කදී වේගවත් ලකුණු 29ක් රැස් කරමින් ඉනිම ගොඩනැගීමට වැදගත් දායකත්වයක් ලබාදුන්නා.
ඔහු එල්ල කළ දැවැන්ත හයේ පහර කිහිපයක් තරගයේ ගමන් මඟ වෙනස් කිරීමටත් හේතු වුණා.
ජොෆ්රා ආචර් පන්දු 15කින් ලකුණු 32ක් රැස් කරමින් ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ අතර, ධෘව් ජුරෙල් ලකුණු 38ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 175ක් පමණයි.
සූර්යකුමාර් යාදව් ලකුණු 60ක් සහ හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 34ක් ලබාගත්තද, එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නැහැ.
පන්දු යැවීමේදී ජොෆ්රා ආචර් ලකුණු 17කට කඩුලු 3ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත්වුණා.
මෙම ජයත් සමඟ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම IPL අවසන් පූර්ව වටය හෙවත් IPL Play Off වටයට සුදුසුකම් ලබාගත් අතර, කොල්කටා නයිට් රයිඩර්ස් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් තරගාවලියෙන් ඉවතට ගොස් තිබෙනවා.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මැයි 27 වනදා පැවැත්වෙන Eliminator තරගයේදී සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.




