ගෑස් මිල ගණන් අඩු කිරීම හේතුවෙන් ප්ලේන්ටි සහ කිරි තේ මිල රුපියල් පහකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

කෙසේවෙතත් කෙටි ආහාර මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා නෙත් නිවුස් කළ විමසිමකදී පැවසුවේ.

"ගෑස් මිල රුපියල් සියයකින් විතර පහළ හෙළලා තියෙනවා. ඉතින් අපි ඒකට රජයට ස්තූතිවන්ත වෙනවා. මොකද රජය... ජනතාවත් ව්‍යාපාරත් අපහසුතාවයකින් ඉන්න අවස්ථාවක මෙහෙම හරි සහනයක් ලබාදීම සම්බන්ධයෙන්. මේ ලැබිච්ච සහනය අපි ජනතාවට ලබාදෙනවා ප්ලේන්ටියක සහ ප්ලේන් ටී එකක මිල රුපියල් පහ බැගින් අඩු කරලා. ඉදිරියේදී මේ වගේ අපේ ව්‍යාපාරයට, අපේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිලගණන් පහළ ගිය සැනින් අපි නැවතත් ඒ හරහා මිල අඩු කරන්න පොරොන්දු වෙනවා කියන එක ආදරණීය පාරිභෝගික ජනතාවට දන්නා සිටිනවා. ''

ඒ කියන්නේ ඔබතුමාලා බත්, කොත්තු, කෙටි ආහාරවල මිලගණන් අඩු කරන්නේ නැද්ද?"

දැනට අඩු වීමක් සිදුවෙන්නේ නැහැ. නමුත් ඉදිරියේදී තවදුරටත් අමුද්‍රව්‍ය මිල පහළ ගියොත් එහෙම අපි අනිවාර්යයෙන්ම ඒ ආහාර පානවල මිල අඩු කරලා දෙනවා කියලා පොරොන්දු වෙනවා."

අඩු කරන්න බැරි හේතුව කුමක්ද?"

දැනට මස්, මාළු, පිටි මිල වැඩිවෙලා තියෙනවා. ඉතින් ඔය සියලුම අමුද්‍රව්‍ය සාධක සියලුම දේවල් ඉහළ මිලයේ තියෙන්නේ. ඉතින් ඒක හන්ද තමයි දැනට ඒක කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. අමුද්‍රව්‍ය මිල පහළ ගිය ගමන් අපි ඒක්ක ඒ මිලවල් අඩු කරලා දෙන්න ජනතාවට පොරොන්දු වෙනවා."

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ගණන් අද සිට පහත දැමිමට එම සමාගම පියවර ගනු ලැබුවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් සියයකින් අඩු කළ බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

එම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,365 ක් වනවා.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 42 කින්.

එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,750 ක් වන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

කිලෝ ග්‍රෑම් දෙකයි දශම 3 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 20 කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව රුපියල් 815 ක් වන බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පැවසුවේ.

ජාත්‍යන්තර වෙළදපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙලෙස ගෑස් මිල අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පැවසුවා.