ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි ඊශ්‍රායලය විසින් ඝාතනය කිරීම ඉරාන දේශපාලන ක්‍රමය අස්ථාවර කිරීමට හේතුවක් නොවන බව එරට විදේශ කටයුකු අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.

ඇමරිකානු - ඊශ්‍රායල ඝාතන මගින් ටෙහෙරානයේ ‘ශක්තිමත් දේශපාලන ව්‍යුහය‘ පෙරළා දැමිය නොහැකි බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ බලගතු ලේකම් අලි ලරිජානි ඊශ්‍රායලය විසින් ඝාතනය නර ඇති බව අද අලුයම ටෙහෙරානය විසින් තහවුරු කලා.

ඉන් අනතුරුව අල් ජසීරා රුපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.

අබ්බාස් අරග්චි පැවසුවේ ඉරාන රජය තනි පුද්ගලයෙකු මත විශ්වාසය නොතබන බව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය තවමත් වටහාගෙන නොමැති බවයි.

ඊශ්‍රායල ප්‍රහාරවල මගින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය, හේතුවෙන් විශාල ජාතික පාඩුවක් වී තිබියදීත්, “පද්ධතිය දිගටම පැවතුනි” යනුවෙන් ද ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

මේ අතර අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමු කරමින් ඉරාන යුද්ධය පිටුපස ඇති කුමන්ත්‍රණකාරී ස්වභාවය පිළිබඳ කරුණු හෙළිකර ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.

ඉරානය එක්සත් ජනපදයට ”ආසන්න තර්ජනයක්” එල්ල කර නොමැති බවත් ”ඊශ්‍රායලයේ සහ බලගතු ඇමරිකානු අමෙරිකානු මාධ්‍යවල පිරිසකගේ පීඩනය නිසා ට්‍රම්ප් මෙම යුද්ධය ආරම්භ කළ බවත් ඔහු පවසා තිබෙනවා.

නිමාවක් නොමැති යුද්ධවලට අමෙරිකාව පටලවා නොගෙන මිලිටරි බලය තීරණාත්මක ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව පළමු ධුර කාලය තුළදී, ඩොනල්ඩ් ට්‍රම්ප්ට මනා අවබෝධයක් තිබූ බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

ඉරානයෙන් අමෙරිකාවට ක්ෂණික තර්ජනයක් පවතින බවටත්, දැන්ම ප්‍රහාර එල්ල කළහොත් ඉතා ඉක්මන් ජයග්‍රහණයක් කරා යා හැකි බවටත් එම පාර්ශවයන් ට්‍රම්ප්ව මුළා කර ඇති බවද ඔහු එම ලිපියේ සදහන්කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.