‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව සිටි පිරිස් මුදා ගැනීමේ සහ ආපදා සහන මෙහෙයුමේ නිරතව සිටියදී මව්බිමේ පුරවැසියන් වෙනුවෙන් සිය ජීවිතය කැප කළ ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතා අද ජාතියට සමු දුන්නා.
ඒ, මුළු මහත් ජාතියේම සිත් තුළ සදාතනික මතකයක් ඉතිරි කර තබමින්.
ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ගුවන් හමුදා පූර්ණ ගෞරව සහිතව අද සිදු කෙරුණේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදීයි.
ගුවන් හමුදාපතිවරයා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් මෙන්ම තවත් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ආපදාවට ලක්වූවන් මුදා ගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුමක නිරතව සිටියදී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතා සිය දිවියට සමුදුන්නේ පසුගිය 30 වනදායි.
ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද අද අවසන් ගෞරව දක්වනු ලැබුවා.
සියඹලාපිටිය මහතාගේ දේහය තැන්පත් කර තිබූ රත්මලානේ පිහිටි නිවසට අද පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එහිදී නිර්මාල් සියඹලාපිටිය මහතාගේ බිරිඳ, දෙමාපියන්, සොහොයුරු සොහොයුරියන් ඇතුළු පවුලේ සියලු දෙනා වෙත ජනාධිපතිවරයා සිය සාතිශය සංවේගය පළ කර තිබෙනවා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට අද අවසන් ගෞරව දක්වනු ලැබුවා.




