රුපියල් කෝටි දෙකක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් ව්‍යාපාරිකයන් වන අතර , ඔවුන් අතරින් එක් අයෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර අනෙක් පුද්ගලයා යටියන්තොට ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.

ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 10 ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 116,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 581 ක් සහ ඩුබායි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිළදී ගත් විස්කි බෝතල් 117 ක් ද සගවා ගෙන තිබූ බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් වැඩිදුරටත් පවසා තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් , මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.