නිල්වලා, ගිං, කළු සහ කැළණි ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජනතාව තවදුරටත් අවධානයෙන් පසු විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය දින කිහිපයේ ඇද හැළුණු මහ වැසි හේතුවෙන් එම ගංගාවල ජලමට්ටම ඉහළ ගිය අතර ඇතැම් පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවුණා.
ඒ අනුව නිල්වලා ගග ආශ්‍රිතව යට වූ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයද අද දිනයේද එලෙස පවතිනු ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්‍ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ.
''විශේෂයෙන්ම නිල්වලා ගඟ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර් 50 ට ආසන්න වර්ෂාපතනයන් දකින්නට තියෙනවා. ඒ හේතුවෙන් පහුගිය දිනවල වර්ෂාපතනයත් සමග පානදූගම සහ අකුරැස්ස ප්‍රදේශයේත් ඉන් පහළ කපුව, මාලිම්බඩ ඇතුළු පහළ ප්‍රදේශවලත් තැන් තැන්වල ජලයෙන් යට වෙලා තියෙන්නේ. එහිදී ප්‍රධාන වශයෙන්ම සුළු ගංවතුර තත්ත්වයයි පවතින්නේ මේ වනවිට පානදූගම ප්‍රදේශයේ ජල මට්ටම්. සහ කපුව ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් සෙමින් වැඩි වෙමින් පවතිනවා. කෙසේ නමුත් පිටබැද්දර සහ ඉන් ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් එතරම් සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. එම නිසා පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් අද දිනයේත් පවතිනවා, සෙමින් අඩුවීමක් තමයි දක්නට ලැබෙන්නේ ඉහළ ප්‍රදේශයේ, ඒ වගේම පහළ තවදුරටත් වැඩිවීමක් සිදු වෙනවා මාතරට ආසන්න සහ එම ආරක්ෂිත ප්‍රදේශ තුළ.ඒ වගේම ගිං ගඟ ජල මට්ටම් ඉහළ ප්‍රදේශවල අඩුවීමක් දක්නට ලැබෙනවා, නමුත් එදිනෙත් සැලකිය යුතු වර්ෂාපතනයක් පේන්නට තියෙනවා මිලිමීටර් 75 කට ආසන්න වර්ෂාපතනයක් ඇතුළු ස්ථානවල. මේ හේතුව නිසා බද්දේගම ජල මට්ටම තවමත් සුළු ගංවතුර තත්ත්වයටත් ඉහළ මට්ටමක තියෙනවා. කෙසේ නමුත් එය සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ, මේ දක්වා පවතින තත්ත්වය තවදුරටත් කුඩා වැඩිවීමක් සිදු වේවි. නමුත් මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් මේ දක්වා පවතින වර්ෂාපතනයෙන් අනුමාන නැහැ. එම නිසා විශේෂයෙන්ම බද්දේගම, නාගොඩ, වනවාලුගම ඇතුළු ඒ ආසන්න ප්‍රදේශයේ පහත්බිම්වල ජනතාව තවදුරටත් සැලකිලිමත් විය යුතුයි කියන කාරණය ඉල්ලීම කරනවා. "කළු ගඟේ ඉහළ ප්‍රදේශවල සාමාන්‍ය වර්ෂාපතනයක් පවතිනවා වගේම මිල්ලකන්ද සහ මගුරු ප්‍රදේශවල ජල මට්ටම තවමත් සුළු ගංවතුර තත්ත්වයේ පවතිනවා. ඒ වගේම පුටුපවුල ඇතුළු පහළ ප්‍රදේශ තවදුරටත් ක්‍රමයෙන් සුළු වැඩිවීමක් දක්නට තියෙනවා. එම නිසා කළු ගඟේ විශේෂයෙන්ම කුඩා ගඟ ආසන්නයේ සහ පුටුපවුල ඇතුළු පහළ ප්‍රදේශවල ජනතාව තවදුරටත් සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීම කරනවා.ඒ වගේම කැලණි ගඟේ ඉහළ ප්‍රදේශවල අද වැඩිම වර්ෂාපතනය පෙන්නුම් කරනවා. ලක්ෂපාන සහ නොෝර්ටන් ප්‍රදේශවල මිලිමීටර් 145 කට ආසන්න වර්ෂාපතනයකුත්, ඒ වගේම අනෙකුත් පහළ ප්‍රදේශ තැන් ස්ථානවල මිලිමීටර් 100 කට ආසන්න වර්ෂාපතනයකුත්, විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන. මේ තත්ත්වය යටතේ කැලණි ගඟේ ජල මට්ටම් සාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම හංවැල්ල ජල මට්ටමත් සාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. කෙසේ නමුත් කැලණි ගඟෙත් ඇතැම් පහත් බිම් යටවීමේ හැකියාව තියෙනවා, ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේම මහවැලි ගඟ ඉහළ ප්‍රදේශවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 කට ආසන්න වර්ෂාපතනයක් දකින්නට තියෙනවා, කෙසේ නමුත් ඒ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. අද දිනයේ නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ සහ කැලණි ගඟ ආසන්නයේ ඉන්න ජනතාව විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න."
මේ අතර පැවති මහ වැසි තත්ත්වය අද දිනයෙන් පසු ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවා.
"පසුගිය දින කිහිපයේ පැවැති වර්ෂාපතනයට ප්‍රධාන වශයෙන්ම හේතු වුණේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය. ඇත්තටම මේක අපිට තරමක් ඈතින් තිබුණත් ඒ පද්ධතිය දෙසට හමායන සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පැවැති නිසා තමයි අපිට වැසිකතයේ වර්ධනය වීමක් පැවැතුණේ. මේ වනවිට ඒ පීඩන අවපාතය ඉන්දියාවෙන් ගොඩබිම් දෙසට ඇතුළු වෙලා ක්‍රමයෙන් දුර්වල වෙමින් තමයි පවතින්නේ. ඒ නිසා ඒ පද්ධතිය මගින් ශ්‍රී ලංකාවේ කාලගුණයට කෙරෙහි ඇතිවෙච්ච බලපෑම අද දිනෙන් පසුව ක්‍රමයෙන් අඩුවෙයි කියන එක තමයි බලාපොරොත්තු වන්නේ. කෙසේ නමුත් තවදුරටත් ඒ පද්ධතිය දෙසට හමායන සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතින නිසා අද දිනයේදීත් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් ඔය මධ්‍යම කඳුකරයේ බස්නාහිර බැවුම් ප්‍රදේශ, සදෘශ ලෙස අපි ගත්තොත් මහනුවර, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල වගේ දිස්ත්‍රික්ක සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනයේදීත් පවතිනවා. මේ තත්ත්වය ක්‍රමයෙන් අඩුවීමක් තමයි ඉදිරි දින කිහිපයේ අපි අපේක්ෂා කරන්නේ."
නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා ඊයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය මේ වනවිට තරමක් පහව ගොස් තිබෙනවා.
මේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නවතම තොරතුරු ඇතුළත් වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් නියෝජිත රංජිත් රාජපක්‍ෂ.
''නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා ඊයේ උදෑසන සිට අද අලුයම දක්වා පැවැති අධික වර්ෂාව හේතුවෙන් ජනජීවිතයට ගැටලු රැසක් මතු වෙලා තිබෙනවා. පැවැති අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය කලාපයේ සහ හැටන් කලාපයේ සියලුම පාසල් අද දින නිවාඩු ලබාදීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා. ඊයේට සාපේක්ෂව අද උදෑසන වනවිට පැවැති අධික වර්ෂාවේ තරමක පහව ගොස් තිබෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. අද උදෑසන ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙන ආකාරයක් අපට දක්නට ලැබුණා. මා මේ රැඳී සිටින්නේ සෙන්ට් ක්ලෙයාර්ස් දියඇල්ල අසල. සෙන්ට් ක්ලෙයාර්ස් දියඇල්ලේ පාලමට කඩාහැලෙන ඒ ජලධාරිතාවද ඉහළ ගොස් තිබෙන ආකාරයක් අපට දක්නට ලැබුණා. ඒ වගේම මීට එහා පැත්තෙන් තිබෙන ඩෙවොන් දියඇල්ලේද ජලධාරිතාව ඉහළ ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සමගම හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටිලා තිබුණා. ඒ පස්කන්ද කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය දෙකක පමණ කාලයක් ඇනහිටලා තිබුණා. ඒ වගේම අතුරු මාර්ගවලත් ගස් කඩාවැටීම්, පස්කන්දු කඩාවැටීම් සිදුවෙලා තිබුණා. ඒවා මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට පොලීසිය, ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ඉහළ කොත්මලේ, කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවලත් ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බව තමයි එම ජලාශ භාර ඉංජිනේරුවරුන් කියන්නේ. විමලසුරේන්ද්‍ර ජලාශය ඊයේ පස්වරුවේ සිට වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා. ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙන බව තමයි විදුලිබලාගාර ඉංජිනේරුවරුන් කියා සිටින්නේ. පවතින අයහපත් කාලගුණයත් සමග නුවරඑළිය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා. ඊට ප්‍රධානම හේතුව මාර්ගයේ ලිස්සන සුළු ගතියක් තියෙනවා, ඒ වගේම ප්‍රධාන මාර්ගයට පස්කන්දු කඩාවැටීමේ අවදානමක් පවතින නිසා තමයි පොලීසිය රියදුරන්ගෙන් එවැනි ඉල්ලීමක් කරන්නේ. මේ වනවිට ඊයේ දිනයට පැවැති දැඩි අයහපත් කාලගුණ තත්ත්වය මේ වනවිට තරමක් පහව ගොස් තිබෙනවා.''




