කොල්ලුපිටියේ ප්රධාන පෙළේ රාත්රී සමාජ ශාලාවක කැසිනෝ සූදුවේ කාඩ් කුට්ටම් ඇනීමේ මුවාවෙන් රුපියල් කෝටි 05 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේවිකාවක් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ආයතනයට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව සිදුකළ විමර්ශනයකදීයි මෙම මහා පරිමාණ වංචාව අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් 21 හැවිරිදි සැකකාරිය අත්තිඩිය ප්රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇය කැසිනෝ ක්රීඩාවේ කාඩ් කුට්ටම් ඇනීමේදී සූදු ක්රීඩකයන්ට පෙනෙන සේ එම ක්රියාව සිදුකර, එය වීඩියෝ ගත කර ගැනීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා.
පසුව එම වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් කැසිනෝ ක්රීඩාවේ නිරත වූ පුද්ගලයෙකු විශාල මුදලක් ජයග්රහණය කර ඇති අතර, ඉන් රුපියල් කෝටි පහක මුදලක් මෙම සැකකාරිය වෙත ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මාස දෙකහමාරක කාලයක් තිස්සේ සිදුව ඇති මෙම වංචාව සඳහා එම මේසයේ සේවය කළ තවත් සේවකයින් පස් දෙනෙකු ද සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බවයි කොල්ලුපිටිය පොලිසිය සඳහන් කළේ




