අවි ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන දින 30ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රිආරච්චි මහතාගේ පිළියන්දල, මාම්පෙ ප්‍රදේශයේ පිහිටි නිවසේ අද (23) දිනයේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරුණා.
කොළඹ අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව පැය හතරකට ආසන්න කාලයක් මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවා.
මීට පෙර එම නිවසින් අත්අඩංගුවට ගත් ටී-56 ගිනි අවි සඳහා යොදන මැගසින් සහ ජීව උණ්ඩවලට අදාළ ගිනි අවි නිවසේ සුවිසල් වත්ත තුළ වළ දමා ඇත්දැයි සොයා බැලීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වුණා.
කෙසේ වෙතත්, නවීන ස්කෑන් යන්ත්‍ර ද යොදා ගනිමින් සිදු කළ මෙම දීර්ඝ සෝදිසියේදී වැඩිදුර අවි ආයුධ කිසිවක් හමු නොවූ බවයි පොලිස් ආරංචි මාර්ග තහවුරු කළේ.
මීට පෙර ඉකුත් 16 වැනිදා සිදුකළ වැටලීමකදී, බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සන්තකයේ තබාගෙන සිටි බෝර 16 වර්ගයේ ගිනි අවියක්, ටී-56 මැගසින් දෙකක්, එම උණ්ඩ 221ක්, මිලිමීටර් 0.22 වර්ගයේ උණ්ඩ 103ක්, මිලිමීටර් 7.62 වර්ගයේ උණ්ඩ 31ක් සහ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග මත රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය ඉකුත් 21 වැනිදා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර තිබුණා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ උපදෙස් මත, එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.




