නෙදර්ලන්තය ගහපු සුපිරි ගේම මෙන්න
​ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ප්‍රබල ස්වීඩන කණ්ඩායම ගෝල 5කට 1ක් ලෙස අතිශය පහසුවෙන් පරාජය කරමින් සුපිරි ජයග්‍රහණයක් හිමිකර ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.

මේ විශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟ නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියේ අවසන් 32 දෙනාගේ වටයට ද සුදුසුකම් ලබා ගත්තා.

​මෙම තරගයේ කැපී පෙනෙන විශේෂත්වයක් වුණේ වාර්තා වූ ගෝල හයම එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමයි.

​නෙදර්ලන්තය වෙනුවෙන් බ්‍රයන් බ්‍රොබී සහ කෝඩි ගැක්පෝ ගෝල දෙක බැගින් ලබා ගත්තා. නෙදර්ලන්තය වෙනුවෙන් පස්වැනි ගෝලය ලබාගත්තේ ක්‍රිසෙන්සියෝ සමර්විල් විසින්.

​ස්වීඩනය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ඇන්තනි ඉලංගා විසින් ලබා ගත්තා.

මේ අතර මෙම ​තරගයේ 54 වැනි විනාඩියේදී කෝඩි ගැක්පෝ විසින් ලබාගත් ගෝලය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ 100 වැනි ගෝලය වීම තවත් විශේෂත්වයක්.

1958 වසරෙන් පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් තුළ ගෝල 100ක් වේගයෙන්ම වාර්තාවූ අවස්ථාව ලෙසද මෙය සටහන් වුණා.

මෙම තරගාවලියේදී මුළු ගෝල 100 වාර්තා වූයේ තරග 33ක් දීයි.

මේ අතර අද පැවති තවත් තරඟයකදී ජර්මනිය ගෝල 2ට 1ක් ලෙස අයිවරි කෝස් රාජ්‍යය පරාජය කළා.

ඉක්වදෝරය සහ කුරකාඕ කණ්ඩායම් අතර තරගය අවසන් වූයේ කිසිවෙකු ගෝල නොලබා ජය පරාජයෙන් තොරවයි.