ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.
සෞදි සංවර්ධන අරමුදලේ ආධාර මඟින් මෙරට ක්‍රියාත්මක කරන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය මෙන්ම නව ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
සෞදි සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව ඇති අතර ප්රමුඛ රාජ්‍ය සේවා වඩා ශක්තිමත්ව සහ කාර්යක්ෂමව සිදු කරගෙන යාමේදී වැදගත් වන ඩිජිටල්කරණය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට එම අරමුදල මෙහිදී එකඟ වී තිබෙනවා.
සෞදි සංවර්ධන අරමුදල දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන් තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවති ආර්ථික අර්බුදය හමුවේ කොන්දේසි විරහිතව සෞදි අරාබිය ලබා දුන් සහායට එහිදී සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
සෞදි අරාබි සංවර්ධන අරමුදලෙන් නව ව්‍යාපෘති සඳහා ලබා දෙන ආධාර ජනතා අවශ්‍යතාවල ප්‍රමුඛතා හඳුනාගෙන එම අවශ්‍යතා සපුරාලීමට යොදවන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති ඛලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි, සෞදි සංවර්ධන අරමුදලේ ආසියානු මෙහෙයුම් අධ්යක්ෂ ජනරාල් සවුද් අයිද් ආර්. අල්ෂම්මාරි ඇතුළු එම අරමුදලේ නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.