පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වන තරගය අද පැවැත්වෙනවා.
මෙම තරඟයේදී ශ්‍රී ලංකාව තරඟ වදින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගයි.
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස තුනට එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී ආරම්භ වනවා.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරඟයේදී ඔවුන් එංගලන්තය හමුවේ පරාජය වුණා.
කෙසේ වෙතත් නවසීලන්තය හමුවේ විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් සමත් වූ අතර ඒ සමග තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම පිළිබඳ බලාපොරොත්තු ඉහල නැංවී තිබෙනවා.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගි වන්නේ දෙවන කාණ්ඩය යටතේයි.
කණ්ඩායම් හයක් ඇතුළත් වන මෙම කාණ්ඩයේ ශ්‍රී ලංකාව දැනට පසුවන්නේ 5වන ස්ථානයේයි.
කෙසේ වෙතත් අද තරගය ජය ගතහොත් එහි දෙවන හෝ තුන්වන ස්ථානය දක්වා පෙරට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවනවා.
දැනට මෙම කාණ්ඩයේ පෙරමුණේම සිටින්නේ තරග දෙකකට සහභාගි වී එම තරග දෙකම ජයගෙන සිටින සත්කාරක එංගලන්තයයි.
තරග දෙකකට සහභාගි එම තරග දෙකම ජයගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවනවා.
මේ අතර ශ්‍රී ලංකා A ඉන්දීය A සහ ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයද අද පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඉන්දීය A කණ්ඩායම මෙහිදී තරඟ වැදීමට නියමිතයි.
තරඟය රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී උදෑසන 10ට ආරම්භ වනවා.
මෙම තරගාවලියේ පළමු වටයේ තරඟවලදී ශ්‍රී ලංකා A කණ්ඩායම සහභාගී වූ තරග 4න් 3ක් ම ජය ගත්තා.
ඔවුන් එක් තරඟයක් පරාජය වූයේ ඉන්දීය A කණ්ඩායම හමුවෙයි.
ඉන්දීය A කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරග 4න් දෙකක් පමණක් ජය ගත්තා.
ඒ ශ්‍රී ලංකා A කණ්ඩායම සමග එක් තරඟයක් සහ ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම සමග එක් තරගයක් වශයෙන්.
ශ්‍රී ලංකා A කණ්ඩායම සහන් ආරච්චිගේ නායකත්වයෙන් මෙම තරගාවලියට සහභාගී වනවා.




