මෙරට රෝහල් පද්ධතියේ පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට විසඳුම් සෙවීම සඳහා ඉන්දීය රජයේ සහය ලබාදෙන ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා මහතා හමුවී ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය නිල සංචාරයෙදී ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා මහතා හමු වූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය හරහා දශක ගණනක් පුරා නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාදීම සිදු වුවද, වර්ථමානයේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ වර්ග බොහෝමයක පවතින හිඟය, ඉන් සේවය ලබන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව එහිදී සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.

ඇතැම් ඖෂධ පෞද්ගලික අංශය හරහා පමණක් ලබාගත හැකි වාතාවරණයක් උදාවී ඇති බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, රජයේ රෝහල් මුහුණ දෙන එම අභියෝගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට උපරිම සහය ලබාදෙන ලෙසත්, ඉන්දියාව ලබාදෙන එම සහයෝගය ගෞරවයෙන් පිළිගන්නා බවත් සඳහන් කර සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඉන්දීය රජය පසුගිය සමයේ දැක්වූ දායකත්වය පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පළකර සිටියා.

විශේෂයෙන්ම 2016 වසරේ දී, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් දියත් කරන ලද ‘1990 - සුව සැරිය’ ගිලන් රථ සේවාව පිළිබඳ සිහිපත් කළ විපක්ෂ නායකවරයා එම සේවාව හඳුන්වාදීම හරහා දිවයින පුරා හදිසි වෛද්‍ය ප්‍රතිචාර ක්‍රමවේදය ශක්තිමත් වූ බවත්, එය “ජීවිතාරක්ෂක හවුල්කාරිත්වයක්” ලෙස හඳුන්වා දිය හැකි බවත් එහිදී පවසා සිටියා.

මහජන සෞඛ්‍යය වැඩි දියුණු කිරීම, ඖෂධ සහයෝගීතාව පුළුල් කිරීම සහ හිඟයකින් තොරව සැමට අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම සහතික කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා මහතා අතර මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වුනා.