ඉරානය සමග පවතින යුදමය තත්ත්වය හමුවේ තුවාල ලැබූ ඇමෙරිකානු සෙබළුන්ගේ සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගොස් ඇති බව පෙන්ටගනය නිල වශයෙන් තහවුරු කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.

යුද හානි වාර්තා කිරීමේ දත්ත පද්ධතිය රහසිගතව සංශෝධනය කිරීමට පෙන්ටගනය පියවර ගැනීමත් සමග, පාලනාධිකාරියේ විනිවිදභාවය පිළිබඳව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

පෙන්ටගනයේ ආරක්ෂක අනතුරු විශ්ලේෂණ පද්ධතිය මගින් පසුගිය සෙනසුරාදා නිකුත් කළ නවතම වාර්තාවන්ට අනුව, මීට පෙර වාර්තා නොවුණු තුවාල ලැබූ සෙබළුන් 140 දෙනෙකුගේ තොරතුරු අලු‍තින් ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම, පසුගිය සතියේ ඉරාන ප්‍රහාරවලින් මියගිය සෙබළුන් සිව්දෙනාගේ නම් ද නැවතත් නිල ලැයිස්තුවට එක් කිරීමට පියවර ගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

පෙන්ටගනයේ මෙම නවතම සංඛ්‍යාලේඛන අනුව පෙබරවාරි 28 වනදා ආරම්භ වූ එපික් පියුරි මෙහෙයුමේ මුල් දත්ත සමග සැසඳීමේදී, මේ වන විට ඇමෙරිකානු සෙබළුන් 18 දෙනෙකු මියගොස් 624 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පසුගිය සතියේ තුවාල ලැබූ සෙබළුන් සංඛ්‍යාව 482 ක් ලෙස සටහන් වූ අතර, මෙම තොරතුරු අලු‍ත් කිරීමත් සමග එකී සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය සමග පවතින යුදමය තත්ත්වය නිමා කිරීම සඳහා සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස ඉරානය කිසිදු ඉල්ලීමක් කර නොමැති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ටෙහෙරාන් නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඉස්මාඊල් බගායි සඳහන් කළේ, ඇමෙරිකාව ක්‍රියාකරන ආකාරය කිසිසේත්ම යුද කළමනාකරණයක් නොවන බවයි.

දිගින් දිගටම යුද අපරාධ සිදුකරමින් ඒ පිළිබඳව උදම් ඇනීම හරහා ඇමෙරිකාව උත්සාහ කරන්නේ, ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ බලපෑම මත ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද මහා විනාශයෙන් ගැලවීමට බවත්, ඊට අදාළ වන්දිය ගෙවීමට ඇමෙරිකාවට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.