ඊශ්‍රායලයේ මේ වනවිට පවතින යුදමය තත්ත්වය හමුවේ දිවයිනට පැමිණීමට අපේක්‍ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඉන්දියානු ගුවන් යානාවල ආසන කිහිපයක් ලබාදීමට එරට රජය එකඟ වී තිබෙනවා.

ඒ අනුව ඉන්දියන් ගුවන් සමාගම මගින් ක්‍රියාත්මක කරන ජෝර්දානයේ අම්මාන් සිට ඉන්දියාවේ නවදිල්ලිය දක්වා පියාසර කරන ගුවන් යානාවල ආසන කිහිපයක් ලබා දෙනු ඇති.

එම ගුවන් යානාවල ගමන් කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායල් තානාපති කාර්යාලයට පැමිණ ලියාපදිංචි වන මෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙනවා.

ඒ අනුව ටෙල්-අවිව් සිට ජෝර්දානයේ අම්මාන් නුවර දක්වා ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබා දෙනු ලබනවා.

අම්මාන් සිට නවදිල්ලිය දක්වා ගුවන් ගමන් සඳහා ද මුදල් අය කිරීමක් සිදුවන්නේ නැහැ.

කෙසේ වෙතත් නවදිල්ලිය හා කොළඹ අතර ගුවන් ගමන සඳහා මුදල් ගෙවා ටිකට්පත ලබා ගත යුතු වනවා.

අදාළ ගුවන් ගමන්වල දී එම රටවල තානාපති කාර්යාල විසින් අදාළ කටයුතු සම්බන්ධීකරණය කරනු ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ.

එලෙස දිවයිනට පැමිණීමට අපේක්‍ෂා කරන ශ්‍රී ලාංකිකයින් පිරිස අද සහ හෙට දිනවල පමණක් ලියාපදිංචි කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.