ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අවුරුදු 10ක ගැහැණු ළමයෙකුද ඒ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පුද්ගලයන් දහසකගේ පමණ සහභාගිත්වයෙන් සිඩ්නි නුවර ප්‍රකට බොන්ඩි වෙරළ තීරයේදී ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ යුදෙව් ප්‍රජාවගේ ආගමික උත්සවයක් වන හනුක්කා සැමරුමකට එලෙස වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩික්කරුවන් දෙදෙනෙකු සිදුකළ එම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 42දෙනෙකු තුවාල ලැබූ බවයි එරට පොලීසිය පැවසුවේ.

එම වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරුවන් සොයා පොලීසිය සිදුකළ මෙහෙයුමකදී එක් වෙඩික්කරුවෙකු මියගොස් තිබෙනවා.

අනෙක් වෙඩික්කරු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩික්කරුවන් දෙදෙනා පිය පුතු දෙපළක් බවට අනාවරණ වූ බවද එරට පොලීසිය පැවසුවා.