ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන හා වනාතේ දුමින්ද නොහොත් කුඩු දුමින්ද නමැත්තා හෙළි කළ තොරතුරුවලට අනුව ගිනි දෙකක් සහ ජීව උණ්ඩ සෙයාගෙන තිබෙනවා.

බොරැල්ල සරණපාල හිමි මාවතේ පාලු නිවසක මුළුතැන්ගෙයි වළ දමා තිබියදී මේවා සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් ආරක්‍ෂක වාර්තාකරු පැවසුවේ.

ඉකුත් වසරේ අගෝස්තු මස 7 වනදා හෝ ආසන්න දිනකදි බොරැල්ලේ ක්‍රීඩාංගණයක සැරසිලි කරමින් සිටි පිරිසක් ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීම වනාතේ දුමින්ද නොහොත් කුඩු දුමින්ද නමැත්තා විසින් සිදුකරන ලද බවට මුල් අවස්ථාවේදී තොරතුරු ලැබුණා.

එම අපරාධය සදහා යොදාගත් බව කියන යතුරු පැදියක්ද වනාතේ දුමින්ද නොහොත් කුඩු දුමින්ද නමැත්තාගෙන් දැන් කෙරෙන ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් ආරක්‍ෂක වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

රැඳවුම් නියෝග මත මේ වන විට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන විමර්ශන සිදුකරනු ලබන ඉකුත්දා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හෙළිකල තොරතුරු අනුව ඇය අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.

ඔහුගෙන් ලද තොරතුරුවලට අනුව ඉකුත් වසරේ අගෝස්තු 7 වනදා බොරැල්ලේ කෙරුණු වෙඩි තැබීමට යොදාගත් යතුරු පැදියද සොයාගත් බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කෙරුණු අතර තවත් තිදෙනෙකු තුවාල ලැබුවා.

අපරාධයට යොදාගත් බව කියන යතුරු පැදිය සොයාගෙන ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ තිබියදීයි.

අත්අඩංගුවට ගෙන සිටින සැකකාරිය අපරාධය සඳහා වෙඩික්කරුට ගිනි අවිය ගෙනැවිත් දුන් තැනැත්තිය බවට සැක කෙරෙනවා.

මේ අතර ගාල්ල, දංගෙදර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලව්ව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේදී පිස්තෝල අවියක් සහ එම පතොරොම් 02 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරින් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

එම පිස්තෝල ගිනි අවිය විදේශ රටක නිෂ්පාදිත එකක් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගේ නිවසේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.