ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත්තා.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
පළමුව ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දළදා සමිඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වී උදා වූ නව වසරේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කතාබහක නිරත වුණා.
ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වුණා.
දිට්වා සුළිකුණාටුවෙන් පසු පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මක වන ආකාරයද ජනාධිපතිවරයා විසින් එහිදී මහා නාහිමියන් වෙත පැහැදිලි කළා.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල නායක ස්වාමීන් වහන්සේද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාද පළ කළා.
ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්ද බැහැදැක සුව දුක් විමසනු ලැබුවා.
ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් බැහැදැක උන්වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරත වුණා.
උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අස්ගිරි මහා නා හිමියන් ජනතාවට වඩා යහපත්, රටක් ගොඩනගා දීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ නව වසරේ නව ජවයකින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමියන් සමඟද කෙටි පිළිසඳරක නිරත වී තිබෙනවා.
පසුගිය වසරේ සිදුවූ ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්‍යසනයේ අභියෝගයට මුහුණදීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු ප්‍රමුඛ අනු නායක හිමිවරු දැනුවත් කළ අතර එම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාමට උන්වහන්සේලා සිය ආශිර්වාදය පළ කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
මෙම අවස්ථාවට ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රි තනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.
මේ අතර අද දහවල් මහනුවර, පූජාපිටිය, වැල්ගාල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ජනතාවගේ සුවදුක් විමසා බැලුවා.
පසුගිය නොවැම්බර් 28 වනදා ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ආරම්භ කළ සුරක්ෂිත මධ්‍යස්ථානයේ පවුල් 47ක පුද්ගලයින් 189 දෙනෙක් පමණ තාවකාලිකව රැඳී සිටි අතර, පවුල් 07ක පුද්ගලයන් 23 දෙනෙක් පමණක් තවමත් එහි රැදි සිටිනවා.
එම ජනතාව සමඟ සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසා බැලු අතර සුබසාධන කටයුතු සහ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳවද සොයා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.




