අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ මෝමන් දේවස්ථානයක වෙඩි තැබීම සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් නව දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී සිය ගණනක් එම දේවස්ථානය තුළ රැඳී සිට ඇති බවද වාර්තා වනවා. සැකකරු වෙඩි තැබීමෙන් පසු දේවස්ථානයට ගිනි තබා තිබෙනවා. එම ගින්න සැකකරු විසින් හිතාමතාම ඇති කර ඇති අතර මේ වන විට ගින්න පාලනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සැකකරු හා පොලිසිය අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී අදාල සැකකරු මියගොස් තිබෙනවා. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 40 හැවිරිදි තෝමස් ජේකබ් සැන්ෆර්ඩ් නමැති ඔහු මිචිගන් ප්‍රාන්තයේ බර්ටන් නගරයේ පදිංචිකරුවෙකු බවයි. සැකකරු දේවස්ථානයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළු වී රයිෆලයක් භාවිතා කරමින් අදාල වෙඩි තැබීම සිදු කර තිබෙනවා. කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. අමෙරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් එම ප්‍රහාරය කිතුනුවන්ට එරෙහි සිදු වූ තවත් ඉලක්කගත ප්‍රහාරයක් ලෙසයි හඳුන්වා ඇත්තේ. මිචිගන් දේවස්ථානයේ වෙඩි තැබීමෙන් පසු නගරය පුරා ආගමික ස්ථාන සඳහා ආරක්ෂාව වැඩි කිරීමට නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.