සහකාර පොලිස් අධිකාරියවරයෙකු ලෙස පෙනී සිටිමින් විවිධ වංචාවන්හි යෙදුණු බව කියන පුද්ගලයෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන කරන ලද පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තිබී ව්‍යාජව සකස් කළ පොලිස් හැඳුනුම්පතක් ද සොයාගත් බවයි විමර්ශකයන් පවසන්නේ.

ගල්කිස්ස හෝටල් පාරේ නිවාඩු නිකේතනයක ආරවුලක් ඇති වී තිබෙන බවට 119 හදිසි ඇමතුම් අංකයෙන් තොරතුරක් ලැබී තිබුණා.

ඒ පිළිබඳ සොයා බැලීමට ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම සැකකරු ඉකුත් 22දා කාන්තාවක් ද සමග නිවාඩු නිකේතනයට පැමිණ ඒ මාර්ගයෙන් සුඛෝපභෝගී නිවසක් ලබාගෙන එහි නවාතැන් ගෙන සිට තිබෙනවා.

සැකකරු සහ ඔහු සමග පැමිණි කාන්තාව පැමිණි දිනයේ සිටම ආහාර ලබාගෙන ඇත්තේ ද නිවාඩු නිකේතනයෙන්.

ඒ වෙනුවෙන් ගෙවිය යුතු වූ මුදල ඊයේ දිනවන විට රුපියල් ලක්ෂ 2ට ආසන්න වී තිබී ඇති අතර එහෙත් ඔවුන් විසින් අදාළ මුදල නොගෙවීම හේතුවෙනුයි ආරවුල ඇති වී තිබුණේ.

ලැබුණු පැමිණිල්ලට අනුව ස්ථානය වෙත ගිය පොලිස් නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකරු ප්‍රකාශ කර තිබුණේ ඔහු සහකාර පොලිස් අධිකාරීවරයෙකු බවයි.

ඒ අනුව අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා පොලිස් නිලධාරීන් ඔහුගෙන් හැඳුනුම්පත ඉල්ලා ඇති අතර ව්‍යාජව සකස් කළ පොලිස් හැඳුනුම්පත එහිදී ඔහු විසින් නිලධාරීන් වෙත ලබාදී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්සේම පදිංචි 23වන වියේ පසුවන්නෙකු බවයි වැඩිදුර විමර්ශනවලදී හෙළි වී තිබෙන්නේ.