රාජ්‍ය විශ්වවිද්‍යාලවල හා අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වදය වැළැක්වීම සඳහා මේ වන විට සියලු විශ්වවිද්‍යාලවල එකඟතාවයෙන් සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළා.
එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහාය හා පහසුකම් නොපමාව ලබාදීමට කටයුතු කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කළා.
ඊට අමතරව නවක වදය හා සම්බන්ධ සිද්ධීන්වලට අදාළව නීතිපතිවරයාගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කරනු ලැබුවා.
ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව විනිසුරු ශිරාන් ගුණරත්න විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ නවක වදය හේතුවෙන් ශාරීරික මෙන්ම මොළයට සිදු වූ තුවාල හේතුවෙන් පීඩාවට පත්ව සිටින, 2020 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකු වූ පසිඳු හිරුෂාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබා දෙමින්.
මෙම නියෝග ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුකරය ජනවාරි මස 14 වනදා යළි කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ 1998 අංක 20 දරණ නවක වදය වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නවක වද ක්‍රියාවන් නීති විරෝධී ක්‍රියාවක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි.
මෙම පෙත්සම පවත්වාගෙන යාමේදී රාජ්‍ය විශ්වවිද්‍යාල 16ක් එහි වග උත්තරකරුවන් ලෙස නම් කෙරුණු අතර එම සියලු විශ්වවද්‍යාලවල එකඟත්වයෙන් නවක වදය වැළැක්වීම සඳහා ක්‍රියාවේ යෙදවිය යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කෙරුණු බවත් තීන්දුවේ සඳහන් වුණා.
මෙම නඩු විභාගයේදී නවක වදය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල විසින් ගෙන තිබූ ක්‍රියාමාර්ග පිළිබඳ පරීක්ෂා කළ අතර එහිදී ගෙන තිබුණු පියවර පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි මට්ටමක පැවැති බවත් මෙම තීන්දුවේ අවධාරණය කර තිබුණා.
බොහොමයක් විශ්වවිද්‍යාල නවක වදය ඇතුළු සිදුවීම් පිටු දැකීම සඳහා විවිධ අභ්‍යන්තර යාන්ත්‍රණයන් සකස් කර තිබුණ ද ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වී නොමැති බවත් පෙනී ගොස් තිබෙනවා.
විශ්වවිද්‍යාලවල දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන නවක වදය ඉදිරියේ විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය මෙන්ම පරිපාලනය ද නිහඬ පිළිවෙතක් අනුගමනය කර තිබෙන ආකාරය නඩු විභාගයේදී අධිකරණයට නිරීක්ෂණය වූ බවත් විවිධ හේතු හෝ බලපෑම් මත ඒවා වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඔවුන් අසමත් වී තිබෙන බවත් එම තීන්දුවේ සඳහන් වුණා.
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයත් ක්‍රියාත්මක වන අතර ඊට දිළිඳු හෝ ධනවත් ඕනෑම කෙනෙකුට නිදහසේ ප්‍රවේශ වීමට අවස්ථාව තිබෙන බවත් මෙවැනි නවක වද සිද්ධීන් නිදහස් අධ්‍යාපනය භුක්ති විඳීම සඳහා තිබෙන පිවිසුම අවහිර කෙරෙන බවත් තීන්දුව තුළින් චෝදනා කර තිබුණා.
එම නිසා නවක වදය පිටුදැකීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සහ වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව අධිකරණය විසින් නිරීක්ෂණය කළ බවත් තීන්දුව තුළින් අවධානය කර තිබෙනවා.
එම මාර්ගෝපදේශ මාලාවට අනුව විශ්වවිද්‍යාලවල නවකවද සිද්ධින් වැළැක්වීම සඳහා කමිටු පිහිට විය යුතු අතර නවක වදයට ලක්වන සිසුන්ගේ පැමිණිලි භාර ගැනීම, ඒවා විමර්ශනය කිරීම, සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම ආදිය ද සිදු කළ යුතු බව එම මාර්ගෝපදේශවල සඳහන් කර ඇති අතර ඊට අමතරව එම කමිටුවට අනුයුක්තව නීතිඥ සේවාවක් ද සිසුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය සේවාවක් ද ස්ථාපිත කළ යුතු බවත් සඳහන් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ 2020 වසරේ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකු වශයෙන් ඇතුළත් වූ අතර එහිදී ඇති වූ නවක වද සිද්ධියකදී ජේෂ්ඨ සිසුන් විසින් පඩි පෙළක ඉහළ සිට පහළ සිටි තමන් වෙත බැකෝ ටයරයක් පෙරළීම නිසා තම හිසට සහ මොලයට බරපතළ තුවාල සිදු වූ බවයි.
මෙම සිද්ධිය නිසා මාස තුනකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදු වූ බවත් මේ දක්වා පූර්ණ සුවය ලැබී නොමැති බවත් පෙත්සම්කරු පවසා තිබෙනවා.
මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් විශ්වවිද්‍යාල තුළ සිදුවන නවක වද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ එහි උපකුලපතිවරයා, කොළඹ, කැලණිය ඇතුළු විශ්ව විශ්වවිද්‍යාල දහසයක්, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.