දිවයිනට බලපෑ ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා විදෙස් රටවලින් ලැබෙන මානුෂීය සහන ආධාර කඩිනමින්, සාධාරණව හා විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් ඔස්සේ හැසිරවීම සහ බෙදාහැරීම සහතික කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

මෙම ක්‍රියාවලිය මගින් විදේශීය ‍රාජ්‍යයන්, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජීය සංවිධාන හා අනෙකුත් දායකයින්ගෙන් ලැබෙන ආපදා සහන ද්‍රව්‍ය හා පහසුකම් නිසි ක්‍රමවේදයකට අනුව හා වගකීමෙන් යුතුව විපතට පත් ජනතාව වෙත ලබා දීම සහතික කරන බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මෙම කමිටුවේ මූලිකත්වය දරනු ලබන අතර, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙහි (NDRSC) පිහිටුවා ඇති ලේකම් කාර්යාලය හරහා මෙය ක්‍රියාත්මක වනු ඇති.

ඒ ඔස්සේ විදේශීය රටවලින් මෙරටට ලබාදුන් විවිධ ආපදා සහන සැපයුම් සැකසීම, වෙන් කිරීම හා නිරීක්‍ෂණය සඳහා ජාතික සම්බන්ධීකරණ අධිකාරිය ලෙස කටයුතු කරමින් ජාතික, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාම නිලධාරී මට්ටම් දක්වා වූ සියලුම පරිපාලන ස්ථර හරහා විධිමත් ලෙස ආපදා සහන සේවා සැපයුම් ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කරනු ලබන බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.

කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ, ලැබෙන විදේශීය සහන ආධාර (සැපයුම්) ජාතික ආපදා ප්‍රතිචාර සේවා මධ්‍යස්ථානය (NDRSC) විසින් පවත්වාගෙන යනු ලබන දත්ත පද්ධතියට අනුව, ඒකාබද්ධ වූ ජාතික අවශ්‍යතාවලට නිසි පරිදි ගැළපෙන බව සහතික කිරීමයි.

ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ පළාත් මට්ටම්වලින් ඉදිරිපත් කරන ලද තක්සේරු මත ගොඩනැඟුණු මෙම දත්ත පද්ධතිය, සැපයුම් යැවිය යුත්තේ කොතැනටද සහ කෙසේද යන්න තීරණය කිරීම සඳහා මූලික පදනම සකස් කිරීමද මේ යටතේ සිදුවනවා.

ඒ අනුව කමිටුව මගින් එකම ආධාර එකම ස්ථානයක් වෙත නැවත නැවතත් ලැබීම වැළැක්වීම, ප්‍රමාදයන් අවම කිරීම, අඩු ලුහුඬුකම් ආමන්ත්‍රණය කිරීම සහ විශේෂයෙන්ම කුඩා දරුවන්, වැඩිහිටියන් සහ ආබාධිත පුද්ගලයන් ඇතුළු වඩාත් අවධානමට ලක්විය හැකි ජන කොටස් වෙත ප්‍රමුඛතා ලැබෙන පරිදි ලබාදීමට අවධානය යොමු කිරීම සහතික කරනු ඇති.

මෙහෙයුම් ක්‍රියාවලිය තුල, විදේශීය භාණ්ඩ තොග භාරගැනීම, එම භාණ්ඩ ලේඛනගත කිරීම, තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලීන්, ගබඩා කිරීම, වෙන් කිරීම සහ බෙදා හැරීමේ ක්‍රියා පටිපාටි කමිටුව විසින් අධීක්‍ෂණය කිරීමට නියමිතයි.

එසේම, දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කරන ලද ආපදා සහන සැපයුම්, අඛණ්ඩව නිරීක්‍ෂණ සහ වාර්තාකරණ යාන්ත්‍රණ පවත්වා ගනිමින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස වෙත කාර්යක්‍ෂමව යොමු වන බව සහතික කිරීම සඳහා සැපයුම් මෙහෙයුම් අවසන් අදියර දක්වා අධීක්‍ෂණය කරනු ඇත.

එමෙන්ම විදේශ ආපදා සහන ආධාර ලුහුබැඳීමේ පද්ධතිය (Foreign Aid Tracking System) කළමනාකරණය කිරීම කමිටුවේ ප්‍රධාන වගකීමක්.

මෙමඟින්, මෙරටට ලැබුණු, ගබඩා කර ඇති, බෙදා හරින ලද සහ භාවිත කරන ලද සැපයුම් පිළිබඳව තත්‍ය කාලීන නිරීක්‍ෂණය (Real time) තොරතුරු සක්‍රීය ලෙස ගොණුගත කරනු ඇති.

ඒ අනුව අවශ්‍ය තීරණ ගැනීම සඳහා නවතම සත්‍යාපිත තොරතුරු පදනම් කර ගැනීම සහතික කිරීම පිණිස, සියලුම විෂය භාර අමාත්‍යාංශ, පළාත් පරිපාලන සහ දිස්ත්‍රික් බලධාරීන් විසින් කාලානුරූපීව අළුත් කරන ලද වාර්තා ලබාදීමට සහ දත්ත මෙම පද්ධතියට ඇතුළත් කිරීම අපේක්‍ෂා කරනු ලබනවා.

ආපදා සහන සැපයුම් සේවා අඛණ්ඩ සම්බන්ධීකරණය සහතික කිරීම සඳහා, අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට, නිලධාරීන් කැඳවීමට, වාර්තා ඉල්ලා සිටීමට, විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගැනීමට සහ හදිසි අවස්ථාවලදී තාවකාලික නියෝග නිකුත් කිරීමට කමිටුවට බලය පවරා තිබෙනවා.

ඒ අනුව, ඉදිරියේදී ක්‍රියාත්මක සියලුම සහන සේවා, ප්‍රතිසාධන සහ පුනරුත්ථාපන අවධීන් පුරාවටම කමිටුව සක්‍රීයව පවතින අතර, මෙහෙයුම් නිල වශයෙන් අවසන් කරන තෙක් විදේශ ආධාර ලබන සියලුම අංශයන් මේ යටතේ අඛණ්ඩව අධීක්‍ෂණය කරනු ඇති.