රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13 ක් තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මෙම දැනුම්දීම සිදු කළා. මෙම පැමිණිල්ල කැදවූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවන ෂාධිකා ලක්ෂානී නමැත්තිය දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය පනතේ 54 වන වගන්තිය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් අතිවිශාල මුදලක් උපයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා. මෙම සැකකාරියගේ සහෝදරිය වන ලක්ෂානි දේශාංජලී නමැත්තිය ගේ බැංකු ගිණුම් දෙකක 2024 වසරේ රුපියල් ලක්ෂ 563 ක මුදලක් සහ 2025 වසරේ රුපියල් ලක්ෂ 202 ක් මුදලක් සංසරණය වී ඇති බවට විමර්ශන වලින් කරුණු අනුව වී ඇතැයි ඇය සඳහන් කළා. මෙම සැකකාරියගේ පියා වන පත්තිනිගේ සුනිල් ශාන්ත නමැත්තාගේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ 211 ක් මුදලක් සංසරණය වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය වෘත්තියෙන් ගඩොල් කරන්නෙකු වන මෙම පුද්ගලයාගේ බැංකු ගිණුමේ මෙතරම් විශාල මුදලක් සංසරණය වූයේ කෙසේදැයි බරපතල සැකයක් මතුවන බවත් සඳහන් කළා. මත්ද්‍රව්‍ය ජාවාරම හරහා මෙම මුදල් සංසරණය වන්නට ඇතැයි සැකකරන පොලීසිය එම මුදල් තැන්පත් කළ පුද්ගලයින් හා ඒ හා සම්බන්ධ ජාලය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් ඇය පෙන්වා දුන්නා. මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තහවුරු කෙරෙන ප්‍රකාශ තුනක් මේ වනවිට පොලීසිය විසින් සටහන් කරගෙන ඇති බවත් පසුගිය කාලයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ හෙරෝයින් මත්කුඩු කිලෝ 38 කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ හමුවේ විභාග වන නඩුවේ රිමාන්ඩ් භාරයේ පසුවන විත්තිකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයේ දැනුම් දීම මත මෙම සැකකාරියට සහ ඇයගේ සමීපතමයින්ගේ බැංකු ගිණුම් 13 ක් මහාධිකරණ නියෝග මත තහනම් කර ඇතැයි සදහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඒ අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් 05 ක් ඇතුළත් වන බවත් සඳහන් කළා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් මතු කරමින් මෙම සැකකාරියට අයත් විදේශීය බැංකු ගිණුම් පිළිබඳ විමර්ශන සිදුකර තිබේදැයි විමසුවා. ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම සැකකාරිය සතු විදේශීය බැංකු ගිණුම් හතරක් ඩුබායි රාජ්‍යයේ පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එම බැංකුව ගිණුම්වල අංක මේ දක්වා සොයාගෙන නොමැති බවත් අධිකරණයට දැනුම් දුන්නා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් " ඔබ බැංකු ගිණුම් 13 ක් තහනම් කළ බව සඳහන් කළා. එහෙත් අද පොලීසිය ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ සදහන් කර තිබෙනනේ බැංකු ගිණුම් 06 ක් පමණයි. ඇයි එහෙම වුණේ." යනුවෙන් විමසුවා. ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය " ස්වාමීනි...එම බැංකු ගිණුම් 13 පිළිබඳ විස්තර වැඩිදුර වාර්තාවට ඇතුළත් කරන ලෙස අපි පොලීසියට උපදෙස් ලබා දුන්නා" යනුවෙන් කියා සිටියා. එහිදී මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් " බැංකු ගිණුම් 13 ක් තහනම් කළා නම් ඒක වාර්තාවට ඇතුළත් කළ යුතුව තිබුණා. මොකද ඒක වැදගත් කාරණයක් " යනුවෙන් පැවසුවා. මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන සිදුකරන බැවින් මෙම සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉන් අනතුරුව සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දැයි සොයා බලා සාක්ෂි සම්පිණ්ඩනයක් ඉදිරිපත් කරන ලෙස ඉකුත් නඩු දිනයේ අධිකරණය නියෝග කළත් අද දින පොලීසිය විසින් එවැනි සාක්ෂි කිසිවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළා. ඒ අනුව සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් එම නීතිඥවරයා පෙන්වා දුන්නා. දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය පනත යටතේ නොව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් වූ කරුණු සලකා බලා ඇය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කරන බවයි. මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳව විමර්ශන සිදුකර මීළඟ නඩු දිනයේ අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් සැකකාරිය ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළා.
Published