සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි තරුණයෙකු සහ තරුණියක් පොළොන්නරුව, 28 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලැබුණු රහසිගත තොරතුරකට අනුව පොළොන්නරුව පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

එහිදී සැකකාර තරුණයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 72කට අධික ප්‍රමාණයක් සහ තරුණිය සන්තකයේ තිබී ග්‍රෑම් 6 කට අධික ප්‍රමාණයක් සොයාගත් පොලීසිය පැවසුවේ.

සැකකාර තරුණයා සහ තරුණිය ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයා කටාන, හල්පේ ප්‍රදේශයේ ද තරුණිය කුලියාපිටිය, ඈඹව ප්‍රදේශයේද පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ. ඔවුන් දෙදෙනාට මෙම මත්ද්‍රව්‍ය ලබාදුන්නේ කවුරුන් දැයි සොයා විමර්ශන සිදුකරන බව පොලීසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා සහ තරුණිය අද දිනයේ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.