චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා සියයට 100ක අතිරේක තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයෙන් ලෝක ආර්ථිකයටද බලපෑම් එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ එමගින් ශ්‍රී ලංකාවටද යම් ආකාරයකින් බලපෑම් එල්ල විය හැකි බවයි.

මෙවැනි අවදානම් තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව යම් ආකාරයකට සූදානම් විය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මෙරට නිෂ්පාදනය කිරීමට හැකි ඇතැම් භාණ්ඩ තවදුරටත් චීනයෙන් ආනයන කරනු ලබනවා.

එම භාණ්ඩ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පැවසුවේ.

නොවැම්බර් 01 වැනිදා සිට චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා සියයට 100ක අතිරේක තීරු බදු පනවන බවයි සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ.