ඉරාන නෞකා පෙළක් නැවත වරක් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැංගුරම්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Financial Times වෙබ් අඩවියට අනුව මෙම ඉරාන නෞකා පෙළ මෙලෙස ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැංගුරම්ලා තිබෙන්නේ ඇමෙරිකාව විසින් පනවා ඇති බලවත් නාවික සහ ආර්ථික සම්බාධක හේතුවෙන්.
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැංගුරම්ලා තිබෙන මෙම ඉරාන නෞකා තෙල් ප්‍රවාහන නෞකා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.
මුහුදු මාර්ග නිරීක්ෂණ දත්තවලට අනුව, ඉරානයට අයත් සහ ඊට සම්බන්ධ තෙල් ප්‍රවාහන නෞකා 20කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැගුරම්ලා තිබෙනවා.
මුහුදු මාර්ග නිරීක්ෂණ දත්ත වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ මෙම නෞකා නැංගුරම්ලා තිබෙන බවයි.
නෞකා සියල්ලම හිස්ව පවතින බවද වාර්තා වනවා.
කෙසේ වෙතත් නැවත ඉරාන වරායන් වෙත ගියහොත් මෙම නෞකා ඇමෙරිකානු ප්‍රහාරවලට ලක්වීමේ අවදානමක් පවතින බවයි නාවික විශ්ලේෂකයින් පවසන්නේ.
මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මෙම නෞකා ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 12ක සීමාවෙන්, එනම් ප්‍රාදේශීය මුහුදු සීමාවෙන් පිටත පිහිටා ඇති බැවින් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවට සෘජු වගකීමක් නොමැති බවයි.
මෙම නෞකා සඳහා ශ්‍රී ලංකාව කිසිදු අයුරකින් පහසුකම් සපයන්නේ නැති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.




