මැදපෙරදිග යළි යුද ගිනි ඇවිලෙමින් තිබෙනවා.
ඒ, සිරියානු අගනුවර වන දමස්කස් වෙත ඊශ්‍රායලය ඊයේ රාත්‍රියේ දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමගයි.
ඊශ්‍රායලය එහිදී සිරියානු අගනුවර රජයේ ගොඩනැගිලි කිහිපයකට ද පහරදී තිබුණා.
ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබූ බව සිරියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ල කළේ සිරියාවේ ජාත්‍යන්තර හුදකලාව අවසන් කිරීමට අමෙරිකාව ගෙන ඇති පියවර පවා නොතකමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දමස්කස්හි රජයේ ගොඩනැගිලිවලට පහරදීම තරයේ හෙළා දකින බවයි සිරියාව, ඊශ්‍රායලයේ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ.
සිය ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ඉලක්ක වෙත එල්ල කරන ලද මෙම ප්‍රහාර භයානක තත්ත්වයක් ලෙස සිරියාව හඳුන්වා තිබෙනවා.
සිරියානු රූපවාහිනී නාලිකාවක් විසින් ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ලට පහර දෙන ආකාරය සජීවීව විකාශය කර තිබුණා.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසන්නේ සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය සහ ජනාධිපති මන්දිරය අසල ප්‍රදේශයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි.
සිරියානු දේශ සීමාව අසල පවතින තත්ත්වය හමුවේ ඊශ්‍රායලයට එරෙහිව තර්ජන මතුවීම වැළැක්වීමට අවශ්‍ය බවයි ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් පවසා ඇත්තේ.
තුර්කිය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් ඇතුළු කලාපයේ රටවල් කිහිපයක් සිරියාවට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර හෙළා දැක තිබෙනවා.