අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම යටතේ එහි බෞද්ධ උරුමයට හානි සිදුවන බවටත් ඉන්දීය උවමනාවන් ඉටු කරමින් එහි රාමා කෝවිලක් සංවර්ධනය කිරීමේ සූදානමක් ඇති බවටත් තවදුරට චෝදනා ඉදිරිපත් වනවා.

දැනටමත් ගැසට් කර තිබෙන අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්මෙන් ද මේ සඳහා පහසුකම් සපයා තිබෙන බවයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ.

Neth News YouTube නාලිකාවේ Viral Talk විශේෂාංගයට සහභාගි වෙමින් ඔහු මේ පිළිබඳ කරුණු දැක්වූවා.
"පූජා භූමි පරිසරය වර්ග කිලෝමීටර් 28 ඉදලා 38 දක්වා පුළුල් කරනවා. එතකොට ප්‍රධාන වශයෙන් ජේතවනාරාම ආසන්නයේ තියෙනවා හින්දු කෝවිලක්. ඒක පුරාවිද්‍යා වටිනාකමක් අවුරුදු 100කට වඩා පරණයි. ඒකේ භූමිය විශාල කරගන්න නගර ද්වාරයත් පරණ යාපනය පාර දිගේ ටිකක් ඉස්සරහට අරන් යනවා. පන්දූරු බඳින්න, පිළිපූජා තියන්න අවශ්‍ය ඒ එහෙම අවශ්‍යයි. එතකොට දැනට ඒ කෝවිලේ රාමා වඳින්නේ නැහැ. විෂ්ණු, කාලි අම්මා, පත්තිනි එහෙම තියෙන්නේ. එතකොට රාමා කියන්නේ විෂ්ණුගේ අවතාරයක්, විෂ්ණුගේ එක අවතාරයක්. එතකොට ඒක රාමා කෝවිලක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. එතකොට රාමායන් ට්‍රේල් කියලා ඉන්දියාවෙන් ප්‍රචලිත කරන එකේ අනුරාධපුරයේ තියෙනවා, අනුරාධපුර පූජා නගරයේ තියෙනවා. මොකක්ද රාමායන් ට්‍රේල් කියන්නේ? රාමායන මංපෙත. රාමා ඇවිල්ලා මේ රටේ සීතාව අරගෙන ගිහිල්ලා නවත්තපු තැන්. එතකොට ඒ හැම තැනකම රාමා කෝවිල් ඉදි කරන්න ඕන කියන ඒකට සල්ලි වෙන් කරනවා ඉන්දියාව ඩොලර් මිලියන 50ක්."

ඉදිරිපත් වන මෙම චෝදනා සම්බන්ධයෙන් නෙත් නිව්ස් ආණ්ඩුවෙන්ද විමසීමක් කළා.

ඊට පිළිතුරු ලබා දුන්නේ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතායි.

ජාතිකත්වයන් හෝ ආගමික ඇදහිලිවලට වඩා ශ්‍රී ලාංකික උරුමය නිරූපණය වන පරිදි අනුරාධපුර පූජා භූමිය සංවර්ධනය කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
"සමහර වෙලාවට ජාතිකත්ව බේදයක් නැතුව, ආගමික බේදයක් නැතුව  අපි ඇත්තටම කල්පනා කළ යුතු වෙන්නේ ඒ ශ්‍රී ලාංකිකත්වය තමයි අපේ ඔප්නැංවෙන්නේ, දියුණු වෙන්නේ සහ ලෝකයට අරගෙන යන්නේ. ඒ නිසා මේක ආගමික මතවාදයක් ඉස්මතු කරලීමටවත්, එහෙමත් නැත්නම් ජාතිකත්වය ඉස්මතු කිරීමටවත් කරන කාර්යයක් නෙවෙයි. අපේ පෞරාණික පෞරත්වය පෙන්නුම් කිරීම සඳහා තමයි මේ සාධකයන් එහෙමත් නැත්නම් ස්මාරකයන් අපි පාවිච්චි කරන්නේ. ඒ අර්ථයෙන් කෑනීම් තුළ අපිට සිද්ධ වෙනවා නම් එවැනි ස්ථාන මතු කරගන්න, මං හිතන්නේ ඒ තුළ අපේ අපේක්ෂාව බවට පත් වෙලා තියෙන්නේ ඒ ඒ පෞරාණිකත්වය ඉස්මතු කරලීම මිස වෙනත් ආකාරයක ජාතිකත්වය හෝ එහෙමත් නැත්නම් ආගමික තත්ත්වය ඉස්මතු කිරීම නෙවෙයි කියන කාරණය තමයි අපිට ඒ වෙනුවෙන් කියන්න තියෙන්නේ."

දැනට ගැසට් කර තිබෙන අනුරාධපුර පූජා භූමි සැලැස්ම යටතේ රුවන්වැලි මහා සෑය වටා ආරක්ෂිත වැටක් ඉදිකිරීමට ද විධිවිධාන සලසා තිබෙනවා.

මෙමඟින් ද බෞද්ධ උරුමයට හානි සිදුවන බවටයි චෝදනා ඉදිරිපත් කරන පාර්ශව පෙන්වා දෙන්නේ.

ආරක්ෂිත වැට ඉදිකිරීමේදී මල් ආසන ඉවත් කෙරුණු ඇතැයිද ඔවුන් පවසනවා.

මේ පිළිබඳ කෙරුණු Viral Talk සම්පූර්ණ සංවාදය පහතින්.