ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව මේ වන විට ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා. ඒ, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව පාර්ලිමේන්තු ඉතිහාසයේ මේ දක්වා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී නොතිබීම හේතුවෙන්. මේ හේතුවෙන් එම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරින් අතර දීර්ඝ සාකච්ඡාවක් සිදු වෙමින් ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. එමෙන්ම අදාල විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු චර්යාධර්ම සංග්‍රහය පදනම් කරගෙන වීමද මෙහිදී අවධානයට යොමුව තිබෙනවා. එංගලන්තය, ඉන්දියාව ආදී රටවල පාර්ලිමේන්තුවලට ද නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමේ අත්දැකීමක් නොමැති බවයි වාර්තා වන්නේ. පවතින ආණ්ඩුවකට, අග්‍රාමාත්‍ය ධූරය දරන්නාට සාමූහික කැබිනට් මණ්ඩලයට හෝ කැබිනට් අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒම සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය වනවා. නියෝජ්‍ය අමාත්‍යවරයෙකු යනු සෘජුවම වගකීම් පැවරෙන අයෙකු නොවන අතර අදාල නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට පැවරෙන්නේ කැබිනට් අමාත්‍යවරයෙකුට සහාය වීමේ වගකීම බවයි ඇතැම් පාර්ශ්වයන්ගේ මතය වී ඇත්තේ. ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට අවසර හිමි වුවහොත් එය ඉදිරියේදී ඕනෑම මන්ත්‍රීවරයෙකුට එරෙහිව ද විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දෙන වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවද එම පාර්ශ්වයන්හි මතය වී තිබෙනවා. මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පළ කළේ මෙවන් අදහසක්.

මේ අතර විපක්ෂය විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට සහාය ලබා නොදෙන බවයි සර්ව ජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසුවේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා.