යුද්ධය අවසන් කිරීම සඳහා සෘජු සාකච්ඡා පැවැත්වීමට ධෛර්යය සොයා ගන්නා ලෙස ලියෝ පාප් වහන්සේ යුක්රේනය සහ රුසියාවෙන් ඉල්ලා සිටිනවා.
ඒ, ශාන්ත පීතර චතුරශ්‍රයේ රැස්ව සිටි පිරිස අමතමින් නත්තල වෙනුවෙන් සිය පළමු දේශනය සිදු කරමින්.
නත්තල් දිනයේදී පාප් වහන්සේ විසින් වතිකානු නගරයේ රැස්ව සිටින බැතිමතුන්ට සම්ප්‍රදායිකව පවත්වනු ලබන මෙම දේශනය අතරතුර උන්වහන්සේ ඉල්ලා සිටියේ ලොව පුරා ගැටුම් අවසන් කරන ලෙසයි.
“ආයුධ ඝෝෂාව නතර වේවා, ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය සහ කැපවීම ඇතිව සම්බන්ධ වූ පාර්ශ්වයන්ට අවංක, සෘජු සහ ගෞරවනීය සංවාදයක යෙදීමට ධෛර්යය ලැබේවා” යනුවෙන් පාප් වහන්සේ එහිදී ප්‍රාර්ථනා කළා.
යුක්රේන - රුසියා සටන අවසන් කිරීම සඳහා අමෙරිකාව මුල්කර ගත් ගිවිසුමක් සඳහා සාකච්ඡා පවතින අතරතුරයි ලියෝ පාප් වහන්සේ මේ බව සඳහන් කළේ.
දෙපාර්ශවයටම පිළිගත හැකි ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා අමෙරිකාව උත්සාහ දරමින් සිටින නමුත් රුසියාව සහ යුක්රේනය අතර සෘජු සාකච්ඡා මෙතෙක් සිදුව නැහැ.
මේ අතර සටන් විරාමයක් තිබියදීත් දේශසීමා ගැටුම් ඇති වූ තායිලන්තය සහ කාම්බෝජය ඇතුළු ලෝකයේ සෙසු රටවල ගැටුම් හා නොසන්සුන්තා සම්බන්ධයෙන් ද ලියෝ පාප් වහන්සේ සිය දේශනයේදී කණගාටුව පළ කර තිබෙනවා.




