සිය රට වෙත නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම අඩු නොකළහොත් හමුදා ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොලොම්බියාව සහ මෙක්සිකෝවටද අනතුරු අඟවා තිබෙනවා.

කොකේන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර එක්සත් ජනපදයට විකුණන රෝගී මිනිසෙකු කොලොම්බියාව පාලනය කරන බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.

ඒ, ට්‍රම්ප් සමග පැවැති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් කොලොම්බියාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කළ විමසීමකදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා විසින් කොලොම්බියානු ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කරමින් අදහස් පළ කර තිබෙනවා.

කෙසේවෙතත් කොලොම්බියානු ජනතාව එම නිතිවිරෝධී කටයුතු සිදු කිරීමට වැඩි කාලයක් ඉඩ ලබා නොදෙන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බෝම්ට සිය රට පාලනය කරගත නොහැකි බවද ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙක්සිකෝවේ ආධිපත්‍ය දැරීම හේතුවෙන්.

මේ අතර, අමෙරිකානු භාරයේ පසුවන වෙනිසියුලාවේ ජනපති නිකොලස් මධුරෝට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අද දින ඔහු නිව්යෝර්ක්හි ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

වෙනිසියුලානු ජනාධිපතිවරා අල්ලා ගැනීමේ අමෙරිකා හමුදා මෙහෙයුමේදී කියුබානු පුරවැසියන් 32ක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව එරට රජය පවසනවා.

එම සිදුවීමට ශෝකය පළ කරමින් කියුබාව තුළ අද සය හෙට දෙදින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.