ගෝලීය නව්‍යකරණ දර්ශකයට අදාළ දත්ත අවශ්‍යතා පිළිබඳ උපදේශාත්මක රැස්වීමක්, විද්‍යා, තාක්ෂණ, අධ්‍යාපනික, සහ කාර්මික ආදී ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී පවත්වා තිබෙනවා. ඒ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ මෙහෙයවීම යටතේයි. ප්‍රධාන පද්ධති 7ක් යටතේ දර්ශක 80ක් යොදා ගෙන රටවල නව්‍යකරණ කාර්ය සාධනය මනින ජාත්‍යන්තරව පිළිගත් ගෝලීය නව්‍යකරණ දර්ශකයෙහි ශ්‍රේණිගත කිරීම තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළට ඔසවා තැබීම සඳහා සියලු පාර්ශ්වයන් දායක කර ගැනීම මෙම රැස්වීමේ අරමුණයි. ඒ සඳහා ගෝලීය වශයෙන් මෙරට තරගකාරිත්වය ඉහළ නැංවීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙන්ම, දැනුම, තාක්ෂණය සහ ව්‍යවසායකත්වය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් වීම ආදී කරුණු පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. දත්ත පරතරයන් පියවීම, සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සහ රටේ නව්‍යකරණ කාර්ය සාධනයට සහාය වීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සඳහා පැහැදිලි භූමිකාවන් නිර්වචනය කිරීම මෙම වැඩසටහනේදී අවධානයට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.