සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම ඝාතනය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කළ සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මතයි.

මෙම සැකකරු පසුගිය 19 වනදා මිද්දෙණිය පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය සමග මිද්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔහුගෙන් ලද තොරතුරු මත මෙම ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් අනෙක් සැකකරු ඊයේ දිනයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

24 හැවිරිදියේ පසුවන ඔහු මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මිද්දෙණිය, උල්හිටියාව ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ රැදී සිටියදීයි බැකෝ සමන්ගේ මව වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල මිද්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත් වුණේ.

ඒ පසුගිය 12 වනදායි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඇයට වෙඩි තබා පලාගොස් තිබුණා.