ඊශ්රායලයේ පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ප්රථිඵල නිකුත් වීමත් සමග එරට දේශපාලන ක්ෂේත්රය දැඩි අවිනිශ්චිතතාවයකට සහ අර්බුදයකට ලක්ව තිබෙනවා.
ආසන 120 කින් සමන්විත ඊශ්රායල පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්ය වන ආසන 61 ක බහුතරය දිනා ගැනීමට ප්රධාන දේශපාලන කඳවුරු දෙකෙන් කිසිවෙකුටත් හැකි වී නොමැතිවීම ඊට හේතුවයි.
අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ දක්ෂිණාංශික ‘ලිකුඩ්‘ පක්ෂය ප්රමුඛ සන්ධානය හෝ ඔහුගේ ප්රධාන ප්රතිවාදියා වන ගාඩි අයිසන්කොට්ගේ මධ්යස්ථවාදී ‘යාෂාර්‘ පක්ෂය ප්රමුඛ විපක්ෂ සන්ධානයට මෙම තත්ත්වය හමුවේ බහුතරය අහිමි වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඉදිරි සති 12 ඇතුළත දේශපාලන විසඳුමකට පැමිණීමට පක්ෂ නායකයින් අසමත් වුවහොත්, ඊශ්රායල් ජනතාවට නැවතත් මැතිවරණයකට මුහුණ දීමට සිදු වනු ඇති.
මෙම දේශපාලන අර්බුදයෙන් මිදීමට ඇති ප්රධාන මාර්ග 4 ක් පිළිබඳව මේ වන විට අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්ය වාර්තාවල සදහන්.
විපක්ෂයට නෙතන්යාහු පරාජය කිරීමට ඇති ආසන්නතම මාර්ගය වන්නේ අරාබි පක්ෂවල සහය ලබා ගැනීමයි.
නමුත් අරාබි පක්ෂ වන ‘ජොයින්ට් ලිස්ට්‘ සහ ‘රාම්‘ පක්ෂවල සහය ලබාගැනීමට විපක්ෂයේ සිටින දක්ෂිණාංශික නායකයින් දැඩි ලෙස විරුද්ධත්වය පළ කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
එමෙන්ම අරාබි පක්ෂවල සහය නොමැතිව වුවද, විපක්ෂයට පාර්ලිමේන්තු බහුතරය භාවිත කර කථානායකවරයා ඇතුළු ප්රධාන තනතුරු වෙනස් කරමින් නෙතන්යාහුගේ භාරකාර ආණ්ඩුවේ බලතල සීමා කිරීමට හැකියාව පවතිනවා.
නෙතන්යාහු තම දැඩි මතධාරී ජාතික ආරක්ෂක අමාත්ය බෙන්-ග්රිව් ඉවත් කර, අයිසන්කොට් සමග එක්ව ජාතික එක්සත් ආණ්ඩුවක් පිහිටුවීමට කැමැත්තෙන් සිටින බව පැවසෙනවා.
නමුත්, නෙතන්යාහු සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීම අයිසන්කොට් විසින් සෘජුවම ප්රතික්ෂේප කර ඇති අතර, එවැනි පියවරක් අයිසන්කොට්ගේ ආධාරකරුවන්ගේ දැඩි විරෝධයට හේතු වනු ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.
අනෙක් විකල්පය වන්නේ විපක්ෂයේ සිටින මන්ත්රීවරුන් පිරිසකගේ සහාය ලබා ගැනීමට නෙතන්යාහු උත්සාහ කිරීමයි.
කෙසේ වෙතත්, නෙතන්යාහුගේ සන්ධානයට බහුතරය සඳහා තවත් ආසන 8 ක් අවශ්ය වන අතර, විපක්ෂ නායකයින් නෙතන්යාහු සමග එක් නොවීමට එකඟ වී සිටීම නිසා මෙය ඉතා අසීරු කාර්යයක් වනු ඇති බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් ඊශ්රායල් ජනාධිපති අයිසැක් හර්සොග් සියලුම පක්ෂ නායකයින් සමග සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතයි.
එහිදී පළමුවෙන්ම ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ඇති නායකයාට දින 28 ක කාලයක් හිමිවන අතර, එය අසාර්ථක වුවහොත් දෙවන නායකයාටත්, ඉන්පසුව තෙවන අපේක්ෂකයෙකුටත් අවස්ථාව හිමිවනු ඇති.
මෙම සියලු උත්සාහයන් අසාර්ථක වුවහොත් ඉශ්රායෙල් වැසියන්ට නැවතත් මහා මැතිවරණයකට යෑමට සිදුවනවා.
එසේ වුවහොත් එය වසර 8 ක් ඇතුළත ඊශ්රායලයේ පැවැත්වෙන 7 වන මහා මැතිවරණය බවට පත්වනු ඇති බව විදෙස් මාධ්යයන්හි සදහන්.




