හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් අගෝස්තු මස 25 වනදා කරුණු දක්වන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා.
කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මේ වන විට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවම් නියම වී සිටින ඔහු, එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා එම අදාළ අභියාචනය ගොනු කර තිබුණා.
සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරයාගේ ඇප ඉල්ලීම අද කැඳවනු ලැබුවේ මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එම අවස්ථාවේදී නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කියා සිටියේ සිය සේවාදායකයාට නියම වී තිබෙන සිර දඬුවමට හා දඩ මුදල්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.
එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු නලින් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ එම ඉල්ලීම සම්බන්ධයෙන් අගෝස්තු මස 25 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කරන ලෙසයි.