පවතින වැසි තත්ත්වය බොහෝ පළාත්වල ලබන ඉරිදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් දකුණු පළාතේ වැසි තත්ත්වයේ අද සිට අඩු විය හැකි බවට අපේක්‍ෂා කරන බවයි කාලගුණ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ.

මේ අතර, දිට්වා සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 70ක් බටහිරට බරව වයඹ දෙසින් කේන්ද්‍රගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට දිනයේ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළට ළඟා වනු ඇති බව අපේක්‍ෂා කෙරෙනවා.

මේ හේතුවෙන් උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල නාරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගිුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්‍ෂා කෙරෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 60ත් 70ත් දක්වා ඉතා තද සුළං සහ පැයට කිලෝ මීටර් 80ත් 90ත් දක්වා ප්‍රහාරාත්මක සුළංද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ, පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය.

වැසි තත්ත්වය සමග දිවයිනේ ප්‍රදේශවලට ලැබී ඇති වර්ෂාව සම්බන්ධයෙන්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය අදහස් දැක්වුවා.