දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 23 කළුතර උතුර ප්‍රදේශයේ කාර්මික දෝෂයට ලක්ව නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබූ වීදුරු කැබැල්ලක් දැක ඇතිවූ සැකයක් මත එහි සිටි තරුණයන් තිදෙනා පරික්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ 40 කට ආසන්නව වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පොලිසිය විසින්.

එහිදී සැකකාර තරුණයන් තිදෙනා සමග අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 85 ක්, ජාවාරමින් උපයා ගත් බවට සැක කරන රුපියල් 160,000/= කට අධික මුදලක් සහ ජාවාරමට යොදා ගත් ජංගම දුරකථන හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ එක් තරුණයෙකුගේ යට ඇඳුමේ පාර්සල් හයක සගවා තිබියදී බව පොලිසිය පැවසුවා.

එම තරුණයා තවදුරටත් පරික්ෂා කිරීමේදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සැක කරන රුපියල් 160,000/= ක මුදල පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා .

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම තරුණයන් ද දැඩිව අයිස් මත්ද්‍රව්‍ය පානය කර සිටීම හේතුවෙන් මත් ගතියෙන් සිට තිබෙනවා .
ඔවුන් පුරුද්දක් ලෙස ගාල්ලේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ බිංගිරියට මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තරුණයන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කාර්මික දෝෂයට ලක්වූ ඔවුන් ගමන් ගත් මෝටර් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවට සැකකාර තරුණයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.

සැකකාර තරුණයන් බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.