ගාසා තීරයේ නව සාම සැලසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කළ සැලස්ම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් පිළිගෙන තිබෙනවා. කරුණු 20කින් යුත් එම සැලැස්ම නිකුත් කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙම තීරණයට එළඹ ඇත්තේ. ඒ අනුව නව සාම සැලැස්ම සඳහා එකඟ වන ලෙස හමාස් සංවිධානයට බලපෑම් කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා ඊට එකඟ නොවුණහොත් ඊශ්‍රායලය විසින් ගෙන යන යුදමය ක්‍රියාමාර්ගයට සිය පූර්ණ සහය ලබා දෙන බවට පවසා තිබෙනවා. ගාසා තීරයේ මෙහෙයුම් වහාම නතර කිරීම, හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු පැය 72ක් ඇතුළත නිදහස් කිරීම ඇතුළු කරුණු 20ක් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ගාසා තීරය සඳහා යෝජනා කළ නව සාම සැලසුමට ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.