අභාවප්‍රාප්ත කලාසූරී ලතා වල්පොල මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලඥයින් ඇතුළු ජනතාව තවදුරටත් පැමිණෙමින් සිටිනවා.

ඇයගේ දේහය හෙට රාත්‍රී 10 දක්වා බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

අභාවප්‍රාප්ත කලාසූරි ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට රජය තීරණය කළා.

ඒ අනුව කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ලබන 31 වනදා පෙරවරු 10 සිට පස්වරු 02 දක්වා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ තැන්පත් කෙරෙනවා.

එදින පස්වරු 02ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ඇයගේ දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කලාසූරී ලතා වල්පොල මහත්මිය පසුගිය 27 වනදා අභාවප්‍රාප්ත වුණා. ඇය ඒ වන විට 91 වන වියේ පසුවුණා.