සෞදි අරාබියේ සිවිල් ආරක්ෂක ඒජන්සිය විසින් එරට අගනුවර වන රියාද් නගරය සඳහා නිකුත් කර තිබූ හදිසි අනතුරු ඇඟවීම ඉවත් කර මිනිත්තු කිහිපයකට පසු යළිත් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මීට පෙර රියාද් නගරයට මෙන්ම සුලයියිල් (Sulayyil) පළාතට සහ නජ්රාන් (Najran) පළාතට ද එලෙස හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර සුළු වේලාවකට පසු ඉවත් කිරීමට එරට සිවිල් ආරක්ෂක අංශ පියවර ගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කරන ආර්ථික පීඩන මෙහෙයුම ඉදිරි දින කිහිපයේදී තවදුරටත් දැඩි කරන බව අමෙරිකාව පවසනවා.

අල් ජසීරා පුවත් සේවය වෙත අදහස් දක්වමින් ප්‍රකාශක ටොමී පිගොට් සඳහන් කළේ, ඉරානයට එරෙහි ආර්ථික පීඩනය මේ වන විට සිය ඉලක්ක සපුරාගෙන ඇති අතර එමගින් ඉරාන පාලන තන්ත්‍රයට ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන අහිමි කිරීමට හැකි වී ඇති බවයි.

ගෝලීය වශයෙන් ටෙහෙරානයේ මූල්‍ය අවශ්‍යතා ඉලක්ක කර ගනිමින් දැඩි කළ සම්බාධක සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය තවදුරටත් දැඩි පීඩනයකට ලක් කිරීමට වොෂින්ටනය කටයුතු කරන බවත් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, පවතින අර්බුදකාරී තත්ත්වය අවසන් කිරීම සඳහා පමණක් වොෂින්ටනය සමඟ කිසිදු එකඟතාවකට නොපැමිණෙන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කරනවා.

එරට රාජ්‍ය පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, යළි යුද්ධයක් ඇති නොවන බවට සහතිකයක් ලබා නොදෙන කිසිදු ගිවිසුමක් පිළිගැනීමට තමන් සූදානම් නොමැති බවයි.

පසුගිය ජුනි මාසයේ ඇති කරගත් සටන් විරාම ගිවිසුමෙන් දින 15කට පසු යළිත් ගැටුම් ආරම්භ වූ බව සිහිපත් කළ ඉරාන විදේශ අමාත්‍යවරයා, මාස දෙකකින් කඩ වී යළි යුද්ධයක් ආරම්භ වන්නේ නම් අද දිනයේ ඇති කරගන්නා ගිවිසුමකින් ඇති ඵලය කුමක්දැයි ප්‍රශ්න කර තිබෙනවා.

න්‍යෂ්ටික සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉරානයේ බලගැන්වූ යුරේනියම් සංචිත සම්බන්ධයෙන් මැදිහත්කරුවන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇතත්, අනෙකුත් ඉල්ලීම්වලින් පරිබාහිරව න්‍යෂ්ටික කරුණු පමණක් වෙන් කර සාකච්ඡා කළ නොහැකි බවයි.

යෝජිත ගිවිසුම් සම්බන්ධයෙන් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා කමිටුව විසින් සමාලෝචනය කිරීමෙන් අනතුරුව අවසන් අනුමැතිය ලබා දෙනු ඇති බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.