මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය පුද්ගලයන් 28 දෙනාගෙන් 17 දෙනෙකුගේ මරණවලට හේතුව වෙඩි වැදීම බවත්, අනෙක් 11 දෙනාගේ මරණවලට හේතුව මොට ආයුධවලින් පහරදීම බවත් තහවුරු වී තිබෙනවා.
මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඊයේ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය මණ්ඩලය විසින් මෙම කරුණු අනාවරණය කර ඇති බවයි.
ඒ අනුව මෙම ගැටුම අතරතුර යම් අපරාධයක් සිදුවී ඇති බවයි මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, සියලු දෙනාගේ ජීවිත අධිකරණයට එක හා සමානව වටිනා බැවින් ගැටුමෙන් මියගිය සිරකරුවන් කවුරුන්ද යන්න අධිකරණය විසින් මෙහිදී වර්ගීකරණය නොකරන බවයි.
මීගමුව බන්ධනාගාරයේ ගැටුමට අදාළ නඩුකරය ඊයේ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරුණා.
එහිදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මියගිය හා තුවාල ලැබූ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ අරවින්ද හබක්කල සහ සේනක පෙරේරා යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටින බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.



