අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 06 ක සිර දඬුවම් නියම කළා.

ඊට අමතරව රුපියල් මිලියන තුනක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල ගෙවීම පැහැර හැරියොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බවත් සඳහන් කළා.

මෙම පැමිණිල්ල අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම පැමිණිල්ල ඉකුත් මාර්තු මස 26 වනදා කැඳ වූ අවස්ථාවේදී වග උත්තරකරුට චෝදනා භාරදීම සිදුවූ අතර ඔහු එම චෝදනාවලට නිවැරදිකරු බව දැනුම් දී තිබුණා.

ඒ අනුව එම චෝදනාවලට අදාළ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින නියම කර තිබුණා.

අද දින පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විත්තිකරු සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබුණේ අදාල චෝදනාවලට නිවැරදිකරු බව සඳහන් කරමින් තමා කලින් කළ ප්‍රකාශය ඉවත් කරගෙන චෝදනා වලට වරද පිළිගන්නා බවයි.

වග උත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් නොතිබූ බවත් පැවති අපහසුතා හේතුවෙන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගයකට අනුව වන්දි මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බව සඳහන් කළා.

එම නිසා ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසයි නීතිඥවරු ඉල්ලා සිටියේ.

ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා 2024 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කීපයක් කලින් පිටවීමේ සිද්ධියට අදාලව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම වගඋත්තරකරුට රුපියල් මිලියන තුනක වන්දියක් ගෙවන ලෙස 2024 වසරේ දෙසැම්බර් මස 31 වනදා නියෝග කළ බව පැවසුවා.

එම නියෝගය ප්‍රකාශයට පත් කළ දින සිට සති හතරක් තුළ එම වන්දි මුදල ගෙවා අවසන් කළ යුතු බවට නියෝගයේ සඳහන් වී තිබුණා.

එහෙත් එම වන්දි මුදල් තමන්ට ගෙවිය නොහැකි බව මෙම වග උත්තරකරු අධිකරණයට දැනුම් දී තිබූ බවත් නියෝගයේ සඳහන් වුණා.

වැඩි දුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අග විනිසුරු වරයා කියා සිටියේ මෙම වන්දි මුදල ගෙවීම පැහැර හැරීම තුළින් වගඋත්තරකරු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග හෑල්ලූවට ලක් කර ඇති බවයි.

මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කළහොත් අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි පෙන්වා දුන් අගවිනිසුරුවරයා දඬුවම් නියම කිරීමේදී පෙත්සම්කරුගේ පෞද්ගලික කරුණු වලට වඩා මහජන විශ්වාසය සහ වගකීම සම්බන්ධයෙන් අධිකරණයට දැඩි අවධානය යොමු කිරීමට සිදුවන බවත් සඳහන් කළා.

ඒ අනුව මෙම දඩුවම් නියම කරන බවත් අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිකුත් කළ නියෝගයේ සඳහන් වුණා.

2024 වසරේ පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු වී ඇතැයි තීන්දු කළා.

ඒ අනුව තීන්දුව ලබා දුන් 2024 වසරේ දෙසැම්බර් මස 31 වන දා සිට සති හතරක කාලසීමාව තුළ රුපියල් මිලියන තුනක වන්දියක් මෙම වගඋත්තරකරු විසින් රජයට ගෙවිය යුතු බවත් නියෝගයේ සඳහන් කර තිබුණා.

එම වන්දි මුදල ගෙවීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් මෙම වගඋත්තරකරුට එරෙහිව අදාල පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.