සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ සේවයෙහි යෙදී සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහර දුන් එම ගුවන් යානයේ ගමන් ගත් සෞදි අරාබි ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 28 හැවිරිදි සෞදි අරාබි ජාතිකයෙකු වන අතර ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ එතැන් සිට මැලේසියාවට යාම සදහා මෙම ගුවන් යානයෙහි ගමන් කර තිබෙනවා.

ඔවුන් සෞදි අරාබියේ රියාද් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට සූදානම් වෙමින් සිටියදී ගුවන් යානය තුළ සියලුම ගුවන් මගීන් තම ආසන තුළ ආසන පටි පළදා ගෙන අසුන් ගෙන සිටීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර එම නීතිය උල්ලංඝනය කරමින් මෙම ගුවන් මගියා පමණක් වැසිකිළිය වෙත ගමන් කිරීමට තැත් කරත්දී මෙම ගැටුම ඇති වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබෙනවා.

ගුවන් සේවිකාවන් විසින් මේ පිළිබද ගුවන් යානයෙහි නියමුවා දැනුවත් කිරීමෙන් පසුව ගුවන් යානය ගොඩබැස්සවීමෙන් අනතුරුව ගුවන් යානය අසළට පැමිණි පොලිස් නිලධාරීන් මෙම සෞදි අරාබි ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සහ කටුනායක ගුවන් තොටුපොළ සංචාරක පොලීසිය ඒකාබද්ධව මොහු අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

මෙම සිදු වීම ශ්‍රී ලංකා ගුවන් අවකාශයේ උඩු ගුවනේ දී සිදු වී ඇති බැවින් මෙම සෞදි අරාබි ජාතිකයා (27) දින කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.