Sunday, May 19, 2024

General line - 0115112241

මහ කන්නයේදී මෙරට බංඩි පොහොර භාවිතය තුනෙන් දෙකකින් පහළට




මෙවර යල කන්නයේ පොහොර සහනාධාර මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ගොවි ගිණුම්වලට බැර කිරීම අද සිට ආරම්භ කෙරෙනවා.

ඒ අනුව දැනට කුඹුරු වගාකර අවසන්ව ඇති ගොවීන් සඳහා ද මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශ පැවසුවේ.

වී වගාවට බන්ඩි පොහොර හෙවත් MOP යෙදීම පසුගිය කන්න කිහිපය තුළ ප්‍රමාණාත්මකව අවමවී ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

විශේෂයෙන් වී කරල් ශක්තිමත්වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණවීම සඳහා බන්ඩි පොහොර භාවිතා කිරීම අනිවාර්ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියා සිටියා.

එහෙත් පසුගිය මහ කන්නයේ දී MOP පොහොර භාවිතය අඩුවී ඇති බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

හෙක්ටයාර් ලක්ෂ අටක් පසුගිය මහ කන්නයේදී වගා කළ අතර MOP පොහොර අලෙවිවී ඇත්තේ මෙටි්‍රක් ටොන් 11,000ක්.

එහෙත් මහ කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් 30,000ක් වුවද ගොවීන් මිල දී ගෙන ඇත්තේ ඉන් තුනෙන් එකක ප්‍රමාණයක් බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්  MOP පොහොර භාවිතා කිරීම සම්බන්ධව දී ඇති නිර්දේශ  අනුව එම පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. 

මෙම පොහොර සහනාධාර මුදල් ප්‍රතිපාදන MOP පොහොර මිල දී ගැනීම ඉළක්ක කරමින් ලබා දීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර දැනට අවශ්‍ය තරම් MOP පොහොර තොග රට තුළ පවතින බවද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.

මෙවර යල කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් 15,000ක් පමණ වුවද දැනට මෙට්‍රික් ටොන් 35,000ක තොගයක් රට තුළ ඇති බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

ඉන් මෙටි්‍රක් ටොන් 27,000ක් රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතිනවා.