ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම ගැඹුරු පීඩන අවපාතය අද පස්වරුවේ දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසුරිය මහතා පැවසුවේ.
''ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා මේ වන විට වර්ධනය වෙලා තියෙනවා. ඊයේ පස්වරු 11.30 පමණ වන විට මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 640ක් පමණ දුරින් ඊසාන දෙසින් කේන්ද්‍රගත වී තිබුණා. තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ඇදෙමින් අද දිනයේ සවස් කාලයේදී දකුණු සහ යාබද මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වාත්, හෙට දිනයේදී බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා.''

මේ අතර, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද සිට අපේක්ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.