ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අද කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ එම සමාගමේ නිලධාරීන්ට උදෑසන 10ට පැමිණ මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දී ඇති බවයි.

පසුගිය 13 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ දැමීමට එම සමාගම පියවර ගනු ලැබුවා.

ඒ අනුව, රුපියල් 4,965ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 6,740ක්.

රුපියල් 1,988ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 732කින්.

ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,720ක් වන බවයි ලාෆ්ස් ගෑස් සමාගම පැවසුවේ.

මේ අතර පසුගිය ආණ්ඩුවලදී ගත් වැරදි තීරණ හේතුවෙන් පසුගිය කාලයේදී මෙරට ගෑස් හිඟයක් ඇතිවූ බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් කුමාර හෙන්නායක මහතා පවසනවා.

එමෙන්ම ලාෆ්ස් ගෑස් මිල ඉහල යාම සම්බන්ධයෙන් රජය මැදිහත්වී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
''අපි දැක්කා හැම වෙලේම පෞද්ගලික අංශයට ඉඩ දෙනවා කියලා පෞද්ගලික අංශයේ තරගකාරීත්වය ඇතුළෙ ජනතාවට සහන ලැබෙනවා කියලා තමයි පසුගිය ආණ්ඩුව මේ පෞද්ගලික ක්‍රියාවලිය පටන් ගත්තේ. හැබැයි අපිට දැන් තේරෙන එක තෙල් මිල පාලනය කරන්න යද්දී අපේ තෙල් ෂෙඩ් වලින් බහුතරයක් පෞද්ගලික අංශයට දීලා තිබ්බා. ඒ වගේම ගෑස් වලත් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේ පාලනයක් නැතුව පෞද්ගලික අංශයට මේ වගේ තීරණය කරන අවස්ථාව හදලා දීලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ අපි මේ රටේ ජනතාවට කියන්න කැමතියි අපේ ලිට්‍රෝ ගෑස් වලට අදාළව කිසිදු හිඟයක් නැහැ. ඒකට අපේ ලංකාවේ 80% කට වඩා පාරිභෝගිකයන්ට අදාළ කරන ගෑස් සම්පාදනය කරන්නේ ලිට්‍රෝ සමාගම. එතකොට ඒ සමාගම ඇතුළේ අපි හිතනවා ජනතාවට අදාළ පහසු මිලට ගෑස් දෙන්න අපිට ලංකාවේ ආණ්ඩුවක් විදියට පුළුවන්. හැබැයි තව 20% කට වගේ විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාවට අදාළව මේ ගෑස් දෙන සමාගමක් ඒ සමාගම තමන්ට අදාළ කරන තීන්දු අරගෙන තියෙනවා, තීරණ අරගෙන තියෙනවා. ඒවට අදාළ කරන ඒගොල්ලොන්ට අදාළ ගිවිසුම් පසුගිය ආණ්ඩු කාලේ ගහපු ගිවිසුම් වල ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා කිසිදු ගෑස් හිඟයක් නැතුව ලංකාවේ ජනතාවට අවශ්‍ය කරන ඒ ගෑස් වලට අවශ්‍ය පහසුකම් ලංකාවේ දෙන්න. අපි බලශක්ති අර්බුදයක් ලෝකය ඇතුළෙ නිර්මාණය වෙලා තිබිද්දී, ලෝකයේ මැද පෙරදිග මේ වගේ යුදමය වාතාවරණයක් තිබිද්දීත් අපි අපේ රටේ මිනිස්සුන්ට පෝලිම් වල ඉන්න ඉඩ දුන්නේ නැහැ. අපි අපේ රටේ ගෑස් හිඟයක්, තෙල් හිඟයක් ඇති කළේ නැහැ. ඒකට අවශ්‍ය කරන සියලු මැදිහත්වීම් අපි ආණ්ඩුවක් විදියට කරලා තියෙනවා. ඉස්සරහටත් එවැනි මැදිහත්වීම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ''